අම්මා සහ මිහිකත මගේ රහට (ග්‍රන්ථ විචාර)


චන්දිම සුපුන් 
නීති පීඨය 
කොළඹ විශ්වවිද්‍යාලය



සාහිත්‍ය යන්නෙහි සරළ අරුත සහිත බව යන්නයි. මොනවා සහිත බවද? ලෙස ප්‍රශ්න කලහොත් රස සහිත බව ලෙස පිළිතුරු දිය හැකිය. ලෝක සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘතීන් හට උපත දුන් මවක් ලෙස රුසියානු සාහිත්‍ය හැඳින්වීම වඩාත් සුදුසුය. එලෙස අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘති රචනා වීමට බලපෑ කරුණු ලෙස කොමියුනිස්ට් ප්‍රතිපත්තීන් සමාජගත කිරීමට සාහිත්‍ය භාවිතා කිරීමත්, ලෝක සංග්‍රාම අලලා සිදුවූ විවිධ විශේෂ සිදුවීම් කතුවරුන් විසින් වස්තු විෂය ලෙස තෝරා ගැනීමත් බලපෑ බව පෙනී යයි. කලාව මානව සමාජයේ ප්‍රගමණය උදෙසා භාවිතා කළ සෝවියට් ගත් කතුවරු අතර ඉහළින්ම දිදුලන තාරකාවක් ලෙස චෙන්ගීස් අයිත්මාතව් හඳුනාගත හැකිය. හෙතෙම උපතින් කිර්ගිසියානු ජාතිකයෙකු වූවත් රුසියන් සාහිත්‍ය පරම්පරාව නියෝජනය කරමින්  ගුරු ගීතය, ජමීලා, සියවසක් පවත්නා දවස, අම්මා සහ මිහිකත යනාදී ලෝකප්‍රකට ග්‍රන්ථ රාශියක් රචනා කර තිබේ.
       
               මා හට "අම්මා සහ මිහිකත" කෘතිය හමුවූයේ කෝවිඩ් 19 වසංගතය මුළුමහත් ලෝකයම වෙලාගෙන සිටින අවධියේ ලද දීර්ඝ විවේකය ගෙවා දැමීමට යහළුවෙකුගෙන් ගෙන ආ පොත් මල්ලක තිබීය. මෙම කෘතිය ගැන පෙර අසා තිබුණත් කියවීමෙන් මා ලද වින්දනය විස්තර කිරීමටත් අසීරු තරම් ය. කෘතිය කියවීමේදී ලොකු කුඩා ඕනෑම අයෙකුට ගැහැණියකගේ කටුක ජීවන වෘත්තාන්තයක දිගහැරීමක් මෙමගින් ප්‍රකාශ වන බවට නිගමනයක් ඉදිරිපත් කළ හැකිය. එය එක් අන්තයකින් සාර්ථක වූ නිගමනකි. නමුත් මෙහි ඇති සෑම සිදුවීමක් සිදුවීමක් පාසාම ගැඹුරු ධර්මයක් අවබෝධ කර දෙන බව මගේ ගැඟීමයි. ඒ මන්ද යත් කතුවරයාගෙ රචනා ශෛලිය අභිබවා යන ජීවන යතාර්ථයක් කථාව පුරා දිගහැරෙන නිසාවෙනි. තවදුරටත් කතාව පිළිබඳ වර්ණනාවන් ඉදිරිපත් කිරීම නවතා පෙර කී ගැඹුරු ධර්මය පිළිබඳ අවදානය යොමු කිරීම වැදගත් වේ.

                 ලෝකයේ ඕනෑ තරම් නම්බු නාම පදවි තානාන්තර තිබුනත් ඒ සියල්ලම මව් පදවිය හමුවේ දෙවැනි වෙති. ජීවයක් මව්කුස පිළිසිඳගත් පසු ඒ මොහොතේ සිට මව තමා හෙලන අවසන් හුස්ම දක්වාම සි‍ය දරුවන් කෙරෙහි අසීමිත ආදරයකින්, සෙනෙහසකින්, ආධ්‍යත්මයකින් බැඳේ. ලෝකයේ ඇති පරම පවිත්‍ර හැඟීම එයයි. එය නමින් මව් සෙනෙහසයි. එමෙන්ම සකල ලෝකවාසීන් සිය උරමත තබාගෙන මිනිසාගේ සියළු තාඩන පීඩන හා නොමනා ක්‍රියාකාරකම් හමුවේ අපමණ මෛත්‍රියෙන් අපහට සෙත සදන මහී කාන්තාව ද  මවක ලෙස මම අදහස් දකිමි. එම අදහස මා සිත තුළ ඉබේ හටගත් හෝ බලෙන් ඇතුළත් කරන ලද්දක් නොවේ. අම්මා සහ මිහිකත මගින් මා සිත තුළ රෝපණය කර වර්ධනය කරන ලද්දකි. ඊට එකඟ වීමට හෝ නොවීමය ඔබට ඇති අයිතියට මම ගරු කරමි. නමුත් ඔබ අම්මා සහ මිහිකත කෘතිය කියවන්නේ නම් ඒ සඳහා ඇති මතවාදී අරගලය සංසිඳුවීමට සමත් කරුණු හමුවනු නොඅනුමානය.

            මෙම කෘතිය තල්ගනායි නම් දිරිය කතකගේ ජීවන අන්දරය වටා ගොතන ලද්දකි. ඕ ගැමි ගැහැණියක වූවාය. තුරුණු වියේ ආලය පුදකල ප්‍රේමවන්තයා හා විවාහ වන ඇය දරුවන් තිදෙනෙක් හට උපත ලබාදුනි.  අහෝ! අවාසනාවක මහත, ඈ වැදූ සියළු දරුවන් ඈ ළඟ නොමැත. ස්වාමියා පවා ඇය අතර ගොසිනි. ඈ ළඟ තනි නොතනියට සිටි එකම තැනැත්තිය, දූ තනතුරෙහි සිටි ආදරණීය ලේලිය අලීමා පවා ඈ හුදකලා කර ඇත. එහෙත් තල්ගනායි ගේ තනි නොතනියට දෙවියන් දුන් තෑග්ගක් බඳු වූ ජානබෙලොට් ඇත. ඇය ඔහුගේ අවජාතකත්වය පරයා හදතුල නැගෙන මාතෘ ස්නේහයෙන් ඔහුව හදාවඩා ගනී. කෙටියෙන් කීමට ඇති කතාව එපමණය කියා මට හමාර කළ නොහැක. ඒ මන් ද යත් කතාව දෘශ්‍ය අර්ථ්‍යයෙන් පමණක් දැකීම රස සොයායෑම නොවන හෙයිනි.
          
       මා මෙහි විඳින රසය පාඨක ඔබගේ රසවින්දනයට වඩා වෙනස් වන්නට පුලුවන. නමුදු මාගේ අසීමිත රසවින්දනය සීමිව වචන ප්‍රමාණයක් හමුවේ ගෙනහැර දැක්වීමේදී පාඨක ඔබගේ අවබෝධ කරගැනීමේ පහසුව තකා ප්‍රධාන කරුණු කිහිපයකට පහත පරිදි මාගේ දෘෂ්ටිය කොටස් කර ඇත. යුද්ධය හා ඒ හා සබැඳි විස්තර, අත්දැකීම පළමුව දක්වා ඇත්තේ කථාවේ මුඛ්‍ය අර්ථය එය නිසාය. අනතුරුව ගැමි අපිට සමීප කවිය පිළිබඳවත්, සියුම් මානසික බැඳීමක් වන නැන්දම්මා ලේලීය පිළිබඳ කතාවේ එන අත්දැකීමත්, පරිසරය ගැන නවමු චින්තනයකට මෙම කෘතියෙන් ලද පන්නරය පිළිබඳවත් සඳහන් කර ඇත. අවසාන වශයෙන් මඩ සෝදා ගත්කළ රජකමට පවා සුදුසු ගොවියා හෙළන  රන් දහදිය බිංදු පිළිබඳ තල්ගනායි ගේ විලාපය ද සඳහන් කර ඇත.

       සුන්දර ආදරයෙන් වෙලී යුග දිවියට එලැඹ ආදරය නැමැති වෘක්ෂයේ ඵල බිහිකිරීම යනාදී ජීවිතයේ සොඳුරු අවස්ථාව සඳහා අනෙකුන් සේම තල්ගනායි සහ සුවන්කුල් යන දෙදෙනාද සතුටින් මුහුණදෙනු ලැබීය. ජීවිතය ගඟක් සේ පහලට ගලාගෙන යද්දී විවිධ බාධක හැලහැප්පීම් වලට මුහුණ දීමට සිදුවේ. මෙය වූ කලී ලෝක ධර්මයයි. අහෝ! යුද්ධය! තල්ගනායි ආදරයෙන් ගෙවූ සාමකාමී ජීවිතය හමාර කිරීමට ඔබ සපැමිණියේ මන්ද? නුඹ නිසා තල්ගනායි ජීවිතයේ සැඳෑ සමය කෙලෙස නම් ගතකරනු ඇතිද?..  යුද්ධය ඒ හා සම්භන්ද සෘජු පාර්ශවය කෙරෙහි පමණක් නොව වක්‍ර පාර්ශව කෙරෙහිද බලපෑම් ඇතිකරයි. මනුශ්‍ය ඉතිහාසයේ සිදු වූ දැවැන්තම විනාශය වන දෙවෙනි ලෝක මහා සංග්‍රාමය මුළු මහත් ලෝකයටම පිළිලයක් වෙමින් වසර පහක පමණ කාලයක් පැවතුනි. ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් නම් බලලෝභී පාලකයා රුසියාව ආක්‍රමණය කිරීමත් සමග සාමාකාමී ජීවිත ගෙවූ දහස් ගණනක් ගොවි තරුණයන් හට උදැල්ල, නගුල, ට්‍රැක්ටරය වෙනුවට තුවක්කුව අතට ගැනීමය සිදුවිය. මෙම තත්වය යටතේ කථානායිකා තල්ගනායි ගේ පුතකු වන කසීම් හට හමුදාව හා එකතු වී රට බේරා ගැනීමට යුද්ධයට යෑමට කැඳවීම් කරනු ලැබීය. පසුව එළැඹුනේ තල්ගනායි ගේ ආදරබර ස්වාමියා සුවන්කුල්ගේ වාරයයි. වසර විසි දෙකක් ඈ සමග දුක සැප බෙදාගත් ස්වාමියා ගේ නික්මයාම ඇයට මහත් පීඩනයකි, පාඨක අපගේ නෙතඟ කඳුළක් රැස්කරවන තරම් ශෝකජනක අවස්ථාවකි.  
   " අපි සදහටම සමු ගන්නවා විය හැකියි. එය එසේ නම්, මොනවා කරමුද, අපි බොහෝ කාලයක් මිත්‍රත්වයෙන් සහ එකඟත්වයෙන් ජීවත් වුණා..... ඉරණම කෙසේ වේදැයි කිසිවෙක් නොදනිති."
       යුද්ධය ඉදිරියේ පමණක් නොව ජීවිතයේ ඉදිරි මොහොතක් මොහොතක් පාසා අවිනිශ්චිත ය. ජීවිතය තණ අග රැඳි පිණිබිඳුවකට සමාන වනුයේ එනිසාය. අප විසින් කළයුත්තේ  ජීවිතය නිවැරදි ලෙස ගතකිරීම පමණකි. එවිට අපට සියල්ල අතහැර නික්ම යන මොහොතේදී පශ්චාත්තාපයක් ඉතිරි නොවනු ඇත. විවාහ ජීවිතය යනු මාගේ අදහසට අනුව ආදරය නැමැති පාදමෙන් සාදවා අවබෝධය නැමැති බිත්ති මගින් ගොඩ නංවා මිත්‍රත්‍වය නැමැති වහලයෙන් සෙවිලි කරන ලද ගෘහයකි. මොවුන් දෙදෙනා ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථවත් ලෙස ගතකර තිබේ. ඔවුන් අනාගතයේ මුහුණ දෙන අභාග්‍යසම්පන්න ඉරණම ඉව වැටුනාක් සේ නික්ම යාමට සැරසේ.  සැබැවින්ම එයින් අර්ථවත් කරනුයේ යුද්ධයෙහි ඇති භයානක බව නොවේද? මනුශ්‍ය ජීවිතය බිම් අඟලක් හමුවේ හෑල්ලුවට ලක් කෙරෙන ඒ බලලෝභී උවමණාවන් හමුවේ අහිංසක ජනයාගේ අසරණකම නොවෙද? යුද්ධයට මැදිවන සියළු ජනී ජනයා මොහොතක් මොහොතක් පාසා දරාගත යුතු අවධානම් සහගත බව නොවේද?
                කෙසේ නමුදු දෛවෝපගත ලෙස සිය අනෙක් පුතනුවන් දෙදෙනාද යුධ පෙරමුණ සඳහා යයි.  ඒ අතර ගුරුවරයෙකුව සිටි ඉගෙනීමට ඇල්ම දැක්වූ මසෙල්බෙක් ද සිටියි. සිය ආදරණීය මවට එක් නිමේෂයකින් මුහුණ පෙන්වා දුම්රිය මගින් ඈතට ඇදී යන ඔහු සිය සෙබල හිස්වැස්ම දිවි ඇති තෙක් මව ළඟ සිහිවටනයක් ලෙස තබා ජීවිතයේ කෙලවර සොයාගෙන යයි. මම මෙම කතාන්දරය තල්ගනායි ගේ අවාසනාව ලෙස විස්තර කොට චින්ගීස් අයිත්මාතව් විසින් මනුශ්‍ය ජීවිතයේ අංශු මාත්‍රයක් විස්තර කිරීමට ගත් උත්සාහය හෑල්ලු කිරීමට නොකැමැත්තෙමි. මෙය වූ කලී මනුශ්‍ය ජීවිත බිම්කඩක් හමුවේ බාල්දු කර ලොව පුරා ඇතිකරගත් පළමු හා දෙවන ලෝක සංග්‍රාමයන්හි ඛේදනීය විලාපයයි. ලක්ෂ ගනනින් මව්වරුන්ට දරුවන්,  දරුවන් ට මව්වරුන්, පියවරුන්‍ට දරුවන්, දරුවන් ට පියවරුන්, නෑදෑ හිතමිත්‍රාදීන්, සහෝදරයින් අහිමිකළ යුද්ධ මේ පොළෝතලය ආරම්භයේ සිට කෙතරම්නම් සිදුවී ඇතිද? මේ මහා ජනසංහාර දරා සිටින මහීකාන්තාව සිය උපේක්ෂා සහගත දෑස් දල්වා බලා හිඳින්නේ කවදා හෝ මිනිසත්කම රජ කරන දිනයක් පැමිණෙන තෙක් ය. එදිනට කන කැස්බෑවෙක් විය සිදුරෙන් එළිය බලන්නාක් මෙන් ලැබගන්නා මනුශ්‍ය ජීවිතයේ ඇති වැදගත්කම සියල්ලන්‍ටම අවබෝධ වනු ඇත.
   " ආදරණීය මිහිකත, තම පුතුගේ දර්ශනය එක් මොහොතකට දැකබලා ගැනීම පිණිස අම්මා කෙනෙක් මේ තරම් දුක්විඳි කාලයක් ඔබ දන්නෙහිද?" 
                මා පෙර සඳහන් කල පරිදි කතාව කියවාගෙන යන විටදී හැඟෙන්නේ මෙය තල්ගනායි ගේ අවාසනාව කියාය. නමුදු මා හට සිතෙනුයේ ඇය අනෙක් දෙමාපියන්ට වඩා කිසියම් වාසනාවක් උරුම කරගත්තියක් ලෙසයි. ඒ මන්ද යත් යුධ සහගත අවස්ථා වලදී ඇතැම් මව්වරු සිය ජීවිත කාලයම දරුවන්ගේ මුහුණ නොදැන වෙන්වී යයි, කුඩා කලදීම මවගෙන් දරුවන් වෙන්වී දෙදෙනා දෙතැනක කල් ගෙවමින් ජීවත් වෙයි. යුද්ධය පිළිබඳ මා හට සමීප අත්දැකීම නම් ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයයි. ඇසූ සහ දුටු පුවත් වලට අනුව අප හටද යුධ අත්දැකීම් ආගන්තුක නොවේ. යුද්ධයෙහි විනාසයන් අපි ද හොඳින් දනිමු. තල්ගනායි වැනි මව්වරුන් අදටත් ලංකාවේ සිය ගනනනින් ජීවත් වේ. මිත්‍ර පාර්ශවයේ හෝ අක්ෂ පක්ෂයේ දී මියැදෙනුයේ යම්කිසි මවකගේ දරුවෙකි. මවක් දරුවෙක් උස්මහත් කරන්නේ කෙතරම්නම් බලාපොරොත්තු ඇතිවද? ඒ මව පණපිටින් සිටියදී සිය දරුවකුගේ මියයාම ඇසීම මවකට කෙතරම් නම් දුෂ්කර කාර්‍යක් ද? අහෝ! තල්ගනායි,  ඒ අතින් නුඹ කෙතරම් අවාසනාවන්තියක්ද? එකෙක්, දෙන්නෙක් නොව......!!!

        තල්ගනායි ගේ අවාසනාවක මහත! ඇයගේ මසෙල්බෙක් පුතුද මිය යයි. ඔහු මිය යන්නේ යුධ වීරයෙකු ලෙසිනි. ඇයගේ බලාපොරොත්තු සුනු විසුණු වී ගොස් තම ලේලිය සමග දුක සේ ජීවත් වේ. ඇය සමූහ ගොවිපලේ ප්‍රධාන තනතුරක් උසුලමින් කාර්‍යබහුලව වූවා පමණක් නොව කාන්තාවක් ලෙස ජාතියේ වගකීම සිය උරමතට ගත්තාය. අයිලයේ ගැහැණුන් යුද්ධයට අවශ්‍ය ආහාර සම්පාදනය කරන්නෙ තමාගේ බඩ වියත ගැන පවා නොසිතාය. ඒ මන් ද යත් අයිලයේ යුද්ධ කළ හැකි සියළු පිරිමින් හමුදාවට බඳවාගෙන යුධ පෙරමුණට ගෙනගොස් ඇති නිසාය. එක් අවස්ථාවකදී පුරන් කුඹුරක් අස්වද්දා අමතර ආහාර ස්වල්පයක් නිශ්පාදනය කරගැනීමට ඕ සිතයි. යුධ පෙරමුනේ සටන් කරන්නේ පුරුෂයන් බව සැබෑය. නමුත් තිරය පිටුපස සියළු බර දරන්නේ පෙර දා මෙන් කාන්තාවමය. දරු මල්ලන් රැකගෙන අයිලයේ වගකීම දරාගෙන තල්ගනායි මේ සිදු කරන්නේ සැබැවින්ම යුද්දය පවතින ඕනෑම ස්ථානයක කාන්තාව විසින් ඉටු කරන සාමාජීය වගකීම් සමුදායකි. ඇය සම්ප්‍රදායෙන් බැහැරව ජනතාවට සෙත සැදීමට ක්‍රියා කරයි. පුරන් කුඹුරු අස්වැද්දීම නීතියට පටහැනිය. ස්වාභාවධර්මයේ නීති උල්ලංඝනය කර මිනිසා යුධ වදිද්දී සමාගම් නීති කුමටද? පණ නල ගැටගසා ගැනීම සඳහා කල නොහැක්කක් නොමැත. තල්ගනායි චරිතය වටා දිවෙන්නේ උදාර ස්ත්‍රී ගුණාංග යැයි මට සිතේ. ඇය වීර්‍ය වඩයි, අට ලෝ දහමින් කම්පා නොවේ, පරාර්තකාමීය. ආත්මාර්ථකාමී සමාජයක පරාර්තකාමී චරිත වල උදාරත්වය පෙන්වීම ට හෝ නිවෙසක සමාජයක ස්ත්‍රී භූමිකාවේ උදාරත්වය පෙන්වීමට කතුවරයා මෙම චරිතය අපූර්වත්වයෙන් යුතුව ගොතා තිබේ. 
"......මේ යුද්ධය අපටත්, සියළු ජනතාවටත් මහ විශාල විපතකි. යුධය නැමැති මෙම බියජනක රකුසාව පරාජය කොට විනාශ කිරීම සඳහා අපේ ලෙයත්, අපේ ජීවිතයත් පූජා කළ යුතුය. එසේ නොකරන්නෙමු නම් මිනිසා යන වචනය අපට සුදුසු නොවේ. යුද්ධයේදී වීරකම් පෑම පිණිස මට කිසිඳු ආසාවක් නොතිබිණි. මා ඉගෙන ගත්තේ............." 
              මසෙල්බෙක්ගේ චින්තනය කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. ඔහු ගුරුවරයෙකු වීමට ඉගෙන ගත්තෙකි. ඔහුට තුවක්කු අත දැරීමට උවමනාවක් තිබුණේ නැත. නමුත් ඔහුට සෙබලෙකු බවට පරිවර්තනය කිරීමට කාලය විසින් කටයුතු සම්පාදනය කරන ලදී. සැබැවින්ම එය ඔහුට පමණක් උරුම වූවක් නොවේ. නොසිතූ නිමේශයන්හි ක්ෂණික තීරණ ගැනීමට සිදුවේ. පෙර සැලසුම් කල සියළුදේ ඒ අයුරින් සිදු නොවෙති. මනුශ්‍ය වර්ගයාගේ යහපත උදෙසා මසෙල්බෙක් වැනි උදාර මිනිසුන් අද්විතීය කැපකිරීම් කර තිබේ. යුද්ධයේදී පමණක් නොව අනෙකුත් විවිධ අවස්ථාවන්හි ද එවන් උදාර චරිත නිර්මාණය වේ. ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන විහාරමහා දේවිය ද එවැනි චරිතයකි . මසෙල්බෙක් සියමව් හට එවන ලද ලිපිය කියවන විට මට සිහිවූයේ හසලක ගාමිණී නම් විරුවාය. ඔහු විසින් බෝම්බ වැලක් එල්ලාගෙන තමාගේ සහෝදර විරුවන් විනාශ කිරීමට එන සන්නද්ධ රථයට පැන සිදුවන්නට ගිය මහත් විනාශයක් නතර කරන ලදී. ස්වාර්ථය පරයා පරාර්ථය වෙනුවෙන් දිවි පිදූ විරුවන් මෙලොව සදා වන්දනීය වෙති. කතාව අප්‍රසිද්ධ වුවත් ඔවුහු සාමය වෙනුවෙන්, යුද්ධයක අවසානය වෙනුවෙන් සිය දිවි පුදකලෝ වෙති. අයිත්මාතව් විසින් මසෙල්බෙක් වැනි චරිත මගින් සාමය උදෙසා පුද්ගල මනසෙහි ස්වයං කතිකාවතක් ඇතිකිරීමට උත්සාහ ගැනීමක් සිදු කලා විය හැකිය. කතාවේ රසමුසු තැන් තව ඇතත් මෙවන් කොටස් මාගේ සිත් ගැනීම සාමයට ලැදි ලාංකික අද්දැකීම් නිසා සිදු වූවක් ලෙස මා විශ්වාස කරමි.   

          කතාව කියවා හුදු වින්දනයක් ලබාදීමෙන් නොනැවතෙන චින්ගීස් අයිත්මාතව් විසින් පාඨක මනස භාවමය විප්ලවයක් සඳහා සන්නද්ධ කරයි.  රසවින්දනය සඳහා වයස් භේදයක් නොමැත. අත්දැකීම් මත රසවින්දනය වෙනස් වේ. එය වූ කලී රසවිඳීමේ රහසයි. එමෙන්ම සංගීතය විශ්ව භාෂාවකි. සංගීතය රස විඳින ඕනෑම අයෙකුටද එය එසේමය. සංගීතය බාල මහළු,කුළමල,දුප්පත් පොහොසත් භේද පරයා රසවිඳිය හැක. සංගීතයට ඇති ලැදියාව නිසාම මා සිත් ගත් පාඨයක් අම්මා හා මිහිකත කෘතියේ මා නෙත ගැටුනි. නමුත් එය මා සිත් ගත්තේ හුදෙක් සංගීතය ට හා ගීතයට ඇති ඇල්ම නිසාම පමණක් නොව, ගොවි කතක් සිය පුතුට පවසන එක් වාක්‍ය ඛණ්ඩයක් මගින් මුළු මහත් සමාජයටම විවෘත ආමන්ත්‍රණයක් සිදුකරන බැවිනි.
    "ගයාපන් පුතේ ගයාපන්!  තරුණබව පවතින තුරු ගයාපන්, ගීතය මිනිසා පවිත්‍ර කරයි, එය ජනතාවට ළං කරවයි" 
            බුදුගුණ ගී ,මව් ගුණ ගී ,පියගුණ ගී,  උපදේශාත්මක ගී යනාදී ගීත සාහිත්‍යයෙන් ශික්ෂණය ලැබූ අපට මෙම පාඨය වඩ වඩාත් සමීප වේ. ගීතය මගින් පවිත්‍ර කෙරෙන්නේ මනුශ්‍ය අභ්‍යන්තරයයි, මිනිසාගේ මනසයි. ගීතය ජනතාවට වයස් භේධයෙන් තොරව බෙහෙවින් සමීපය. ගීයක් මගින් ලබාදෙන උපදේෂ නොදැනුවත්ව ම ජීවිතයට ආදේශ වනුයේද  එනිසාය. "මල්ලියෙ එහෙම නොකරන් අපෙ අම්මාට" ලෙස ජන කවියෙන් ආරම්භ වී " මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා", "ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතේ" යනාදී ගීත අපට සමීප වන්නේ රිද්මය මගින් කිසියම් හර පද්ධතියක් මනුෂ්‍ය චෛතසිකයට ඇතුළු කිරන නිසාය. මා අම්මා සහ මිහිකත කියවන දවස් වනවිට පෙර කී පරිදි කෝවිඩ් 19 වසංගතය මුළු මහත් ලෝකයටම බපලෑම් එල්ලකරමින් පවතින නිසා මා හට නිතැතින්ම සිහි වූයේ කෝවිඩ් 19 විපත අපහට කල බලපෑම හා ඊට රටක් ලෙස මුහුණ දීමට ජනමාධ්‍ය මගින් ගීතය ප්‍රචාරක මාධ්‍යක් ලෙස භාවිතා කරන ආකාරයයි. "අඳුරු වලාපට අතරින් හිනැහී නැගිටිමු ශ්‍රී ලංකා", ඉටුකම අරමුදල  වෙනුවෙන් නිර්මාණය වූ "ඉගිලි යන්නට නොදී තදකර ඔය හිත" යනාදී සංවර්ධන සන්නිවේදන ගැයීම් මේ දිනවල මුවග රැව්දෙයි. ජාති ආගම් කුල මල භේදයෙන් තොරව දේශ දේශාන්තරයන්හි වාසය කරන ලොකු කුඩා පාඨක සැමගේ සිත්හි ගීතය ගැන සුවිසල් චින්තනයක් ඇතිකිරීමට උක්ත පාඨයට හැකි බව මගේ හැඟීමයි. 

   යුද්ධයේ අවාසනාව ශාරීරික ආබාධ, මරණය, භව බෝග සම්පත් විනාශවීම යනාදී විවිධාකාරයෙන් පැමිණිය හැකිය. ජීවිතය-මරණය, ජය-පැරදුම යුද්ධයේ ප්‍රධානතම අංගයන් ය. සංග්‍රාමයට මැදිවන සිය ආදරණීයන්ගේ වියෝවෙන් සංවේදී හදවත් කම්පා වේ. එනමුදු වැන්ඳඹු තරුණ කතක් නම් කාලයාගේ ඇවෑමෙන් සිය දුක් දොම්නස් දුරලා ජීවිතයේ අළුත් පියවරක් ඉදිරියට තබයි. එය අපහාසයට ලක් නොකළ යුත්තක් ලෙස මා දකිනුයේ රජ කාලයේ මෙන්ම මෑත කාලයේද එවැනි සිදුවීම් සුලබ නිසා ම පමණක් නොව, සිය ස්වාමියා රට වෙනුවෙන් පුද දී ජීවිතයේ ඉතිරි වසර තිහ හතලිහක පමණ කාලයක් ඒ මතම දුක් වීම නිශ්ඵල කාර්‍යක් නිසාවෙනි. අතීතයට සමුදී වර්ථමානයට ගමන් කිරීම වඩාත් හිතකර ප්‍රතිඵල ඇති කරවයි. තමාට ඔබින ආදරය කරණු ලබන අයකු සමග ජීවිකාව ගෙනයාමට කාන්තාවට අයිතියක් තිබිය යුතුවා සේම මිනිසුන් ලෙස අප ඒ දෙස මධ්‍යස්ථ දෑසින් බැලිය යුතුය. සාමාජීය වශගෙන් මෙවන් මතයක් ගොඩනැගුවද කුටුම්බය තුළ වැන්දඹු ලේලිය කෙරෙහි නැන්දම්මාගෙන් දයානුකම්පාවක් හිමි නොවීම අභාග්‍යසම්පන්න කරුණකි. කුලවාදය හා මිත්‍යා විශ්වාස වලින් පරිපූර්ණ ඉන්දියානු සමාජය තුළ වැන්දඹු කාන්තාව බොහෝ පහත්කොට සලකයි. නමුදු අපට හමුවන තල්ගනායි පටු දෘෂ්ටියෙන් යුතුව ලෝකය දෙස බලන්නියක් නොවූවාය. ඇය සිය වැන්දඹු ලේලියගේ දියවන තාරුණ්‍ය කෙරෙහි විවෘත මනසකින් කටයුතු කළා පමණක් නොව, සිය දියණියට මෙන් අවසානය තෙක් සෙනෙහස දැක්වූවාය. 
     "..... දැන් ඉතින් කසිම් ව අමතක කරපන්, සදහයම ඈත් වූ දෙයක් යළි ගෙනෙන්නට බැහැ........... නුඹ තවම තරුණයි, අනාගතයේදී ජීවත් විය යුතුයි. " 
           මෙය කිසිසේත් දකුණු සහ නැගෙනහිර ආසියාතික රටක බලාපොරොත්තු විය නොහැක්කකි. ඒ සංස්කෘතික දිලිඳුබව මගින් යථාර්ථය වසාදමා ඇති නිසායි. සත්‍ය වශයෙන්ම මවක විසින් සිය දරුවා කෙරෙහි දක්වන ආකල්පයකට සමාන අදහසක් තල්ගනායි අලීමා කෙරෙහි දැක්වූ බවට මෙය හොඳම උදාහරණයක් ලෙස යොදාගත හැකි බව මගේ හැඟිමයි. නැන්දම්මා ලේලී යන වචනය ඉක්මවා ගොස් අම්මා දුව යන සියුම් හැඟීමක් දක්වා මෙම බැඳීම වර්ධනය වී ඇති බව එමගින් පැහැදිලි වේ.  එවන් පවුල් සංස්ථා සමාජයේ නැතුවාම නොවේ. මේ අසීරු අවස්ථාවේදී ඔවුන් දෙදෙනාට පිහිට ඔවුන් දෙදෙනාමය. දෙදෙනා එක්ව තරණය කළ යුතු දුෂ්කර මාර්ගයක් ලෙස අනාගතය දිස් වේ. පසුකලෙක අලීමා පෙම් හබයක පැටලෙනු දුටු තල්ගනායි සතුටු වූවාය. නමුත් ඔවුන්ට උරුම අවාසනාව ඔවුන් පසුපස හඹා ආවේ දෛවයේ සරදමක් මෙනි. අවසානය දක්වාම අත්නොහළ විශ්වාසය හා උතුම් මව්වත් ගුණය ප්‍රදර්ශනය කරමින් තල්ගනායි අලීමා කරෙහි සැර වැර නොවූවාය. එක් අවස්ථාවක සිය ලේලිය නිවෙස හැ‍රදා ගියවිට තල්ගනායි ඈ සොයා ගියාය, ඇයව නැවතට නිවසට රැගෙන ආවාය. අලීමාටද නැන්දනියෙන් වෙන්වී කල් ගත කළ නොහැකිය. ඇය ගැබ්බර වූ විට තල්ගනායි සියළු කටයුතු සූදානම් කරන ලදී. මොවුන් දෙදෙනා කෙතරම් ආත්මිකව බැඳී සිටියේද යත් අලීමාගේ සුසානයේ මල් පඳුරු වැවීමට තරම් නැන්දනිය ආදරණීය වූවාය. මෙම සුසානය තල්ගනායි හට විශේෂ වන්නේ පවුලේ අයෙකුගේ යැයි පැවසිය හැකි එකම සුසානය මෙය වීමයි. දරුවන් තිදෙනා මෙන්ම ස්වාමියාගේද මරණ ලිපි මගින් දැනගත්තා විනා ප්‍රාණය නිරුද්ද ශරීරයන්‍ට සිදුවූ දේ කුමක්ද යන්න පවා ඈ නොදනී. අමිහිරි යුද්ධයේ යතාර්ථයට ඇය දිරිය කතක් ලෙස මුහුණ දුන්නාය. සකල ලෝකවාසීන් අතීතයේ සිට වර්ථමානය දක්වා අත්දකින සංග්‍රාමික අත්දැකීම් හි සමූහ මරණයන්, නෑදෑ හිතමිත්‍රාදීන් මියගොස් එක් අයෙකු ඉතිරිවීම් යනාදී බේදනීය තොරතුරු සුලබය. ශ්‍රී ලංකාවේ පවා භීෂණ සමහන් වලදී හා කොටි ත්‍රස්තවාදී යුගයේදී එවන් සිදුවීම් දුසිම් ගනන් රටේ නොයෙක් ප්‍රදේශ වලින් අසන්නට ලැඹුණි. මේ යථාර්ථවාදී කරුනු සියල්ල පසෙකලා මාගේ සිත් ගත් කරුණ වූයේ අලීමා කෙරෙගි නැන්දනිය ලෙස තල්ගනායි දැක්වූ අමිල සෙනෙහසයි. චින්ගීස් අයිත්මාතව් සිය කෘතීන්හි පුද්ගල සියුම් බැඳීම් අපූර්ව ලෙස නිර්මාණය කිරීම මා දුටු විශේශතම කරුණක් වන අතර මෙය ඊට කදිම උදාහරණයකි. ජමිලා සහ සියවසක් පවත්නා දවස යන කෘතීන්හිද මෙවන් සියුම් පුද්ගල භාවයන් පිළිබඳ මනා විවරණයක් අයිත්මාතව් සිදුකර ඇත.

          අම්මා සහ මිහිකත කියවද්දී මා සිත් ගත් එක් විශේෂ ඡේදයක් ඇත. එහි ඇත්තේ සමස්ථ ලෝකයේ ක්‍රියාකාරකම් කෙරෙහි මහීකාන්තාව දක්වන්නාවූ ආවේගශීලී ප්‍රතිචාරයකි. එය එක්තරා දුරකට පාඨක  මානසට නැවුම් උත්තේජනයක් ලබාදෙනු ඇතැයි මට සිතේ. සහමුලින්ම යථාර්ථවාදී වූ එම විවේචනයට අනුව "මානව වර්ගයාගේ ආරම්භයේ සිට ඇති වූ බල අරගලයන් නිසා අහිංසක ජීවිත කෙතරම් මියයන්නය ඇතිද? තුවාලවීම්  ලේ හැලීම් දේපළ හානි කෙතරම් සිදුවන්නට ඇතිද?" මේවායේ නිමාවක් අද වන තෙක් සිදු නොවුනා සේම අනාගතයේ නිමාවක ලකුණ හෝ දැකගත නොහැකිය. පළමු දෙවැනි ලෝක සංග්‍රාම බැට කෑ සකල ලෝකවාසීන් තවමත් නූතන දිග්විජය ප්‍රතිපත්තීන්හි යෙදී සිටින නිසා යළි කිසිදාක  නිවැරදි මගට පැමිණෙතැයි සිතීම නිශ්පල ක්‍රියාවකි. කෙසේ නමුත් චින්ගීස් මසැස අවධි කරමින් රචිත වචන කිහිපයක් මා මනස තුළ රැව් පිළිරැව් දේ. 
     "කඳුවලට එහා,  සාගරයට එහා ජීවත් වන ජනයිනි!  මේ ලෝකයේ ජීවත් වන ජනයිනි! නුඹලට ඕනෑ මොනවාද? පෘතුවියද? මෙන්න මා තමයි පෘතුවිය. මම සියළු දෙනාටම එකහා සමානයි. නුඹලා සියළු දෙනාම මට එක හා සමානයි.......... මට අවශ්‍ය වන්නේ නුඹලාගේ මිත්‍රත්වයයි,  නුඹලාගේ ශ්‍රමයයි! පෙලළූ බිමට එක ධාන්‍ය ඇටයක් දමාපල්ලා, මම නුඹලාට ධාන්‍ය සියයක් ලබාදෙන්නම්................"
               කාර්මික විප්ලවයේ ආරම්භය සමග සමස්ථ ලෝකය පුරා පරිසරයට අනිසි බලපෑම් එල්ලවීමට පටන් ගත්තේය. සාගර දූෂණය,  හරිත වැස්ම අඩුවීම, ජල දූෂණය, කෘතීම ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම, වායු දූෂණය යනාදී කරුණු මුල් කොටගෙන ඕසෝන් වියන ක්ෂය වීම්, ග්ලැසියර දියවීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම,  දේශගුණික විපර්‍යාස යනාදී අහිතකර ප්‍රතිථල රාෂියක් ඇතිවිය. කඩුව හෙල්ලය වෙනුවට පරමාණු අවි යනාදී නවීන අවි ආයුධ නිපදවීමත් සමග යුද්ධ නව මුහුණුවරක් ගනු ලැබීය. පළමු හා දෙවැනි ලෝක යුද්ධ වලදී ලෝකය දෙකට බෙදී භූමියෙහි ආදිපත්‍යය සඳහා අරගලයක යෙදුනි. එහිදී ලක්ෂ සිය ගණනක් මිනිස්සුන් ජීවිත වලින් වන්දි ගෙවද්දී සිදුවූ පාරිසරික හානිය ගණනය කල නොහැක. හිරෝෂීමා නාගසාකී වැනි නගරවලට පරමාණු බෝම්බ හෙලනා ලදී. එහි අහිතකර ප්‍රතිපල ලෙස අදටත් ඒ නගර වලින් ආබාධිත දරු උපත් හා පිළිකා රෝගීන් වාර්ථා වේ. මා මේ කෘතිය කියවන අවධියේදී පෙර සඳහන් කලාක් මෙන් කෝවිඩ් 19 වසංගතය සමස්ථ ලෝකයම වෙලාගෙන ඇත. කාර්‍යබහුල ආත්මාර්ථකාමී ජීවිතය මොහොතකට නැවතී ඇත. ක්‍රමයෙන් ක්ෂය වී යමින් තිබූ ඕසෝන් වියන ලද විරාමයෙන් නැවත යතා තත්වයට පත්වෙමින් පවතින අයුරු මාද්‍ය මගින් වාර්ථා කර තිබිණ. එයින් පැහැදිලි වනුයේ පුරා සියවස් දෙකකට අධික කාලයක් කාර්මිකකරණය යන නමින් ජෛව විවිධත්වය කෙරෙහි මානවයා එල්ලකල අනිසි බලපෑම නොවේද?  ශ්‍රී ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධය නැවත නැවත මට සිහි වේ.
"ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි" 
ලෝකයේ අනෙක් රටවල් වල ඇත්තේ මොනවාදැයි අසද්දී අපේ රටේ නැත්තේ මොනවාදැයි සොයාගත නොහැකිය. එසේ තිබියදී තිස් අවුරුදු යුද්ධයක්!  සරුසාර පොළොව මත බීජයක් විසිකළ පමණින් එය ඵල දරයි. පිරිසිදු ජලය,පොහොර පස, නිරන්තර වැසි, සෞම්‍ය දේශගුණය, ඛනිජ සම්පත් යනාදිය මෙන්ම උතුම් මානව ගුණධර්ම ප්‍රගුණ කල අප රටේත් මෙවන් විනාශයක් සිදුවූ කල ලෝකය ගැන කතා කිරීමෙන් ඵලක් නැති ගානය. අම්මා සහ මිහිකත කෘතියේ තල්ගනායි ට ලෝක සංග්‍රාමය සමීප වූවා සේ මට ද ඊළාම් යුද්ධය සමීප ය. එනිසා මහී කාන්තාවගේ උක්ත විවේචනය සෘජුව අප රටට එල්ලකල විවේචනයක් සේ මා හට හැඟේ. නමුත් අයිත්මාතව් විසින් එය සමස්ථ ලෝකවාසී ජනීජනයා කෙරෙහි එල්ලකල බලවත් විවේචනයකි. 

            දෙමාපියන් සිය දරුවන් මියයනවා දකින්නේ කුමන සිතකින්ද. තල්ගනායි තමන් වැදූ දරුවන් තිදෙනාම මළබව ඇසීම කෙතරම් ඛේදනීය ද? එමෙන් ම සිය ස්වාමියා ද යුද්ධයේ ගොදුරක් විම? දුප්පත් අලීමා සමග ඈ තනි වූවාය. උපතින් උරුම කරගත් අවාසනාව කියා මට මේ සිදුවීම අවසන් කළ හැකිය. එලෙස පැවසුවහොත් මානවයාගේ ආත්මාර්ථකාමී බව මා තුළින් තුළින් ඉස්මතු වේ. තල්ගනායි, අලීමා වැන්නවුන් බිහි වන්නේ කරුමය නිසා නොව, පුද්ගල නොසංසිදෙන ආශාවන් නිසාය. මනුශ්‍යයා ලෝකය අධික්‍රමනය කිරීමට යාම නිසාය. අතලොස්සකගේ ඕනැ එපාකම් වලට ලක්ෂ ගනනින් තල්ගනායිලා අලීමා වැන්නවුන් මේ මහ පොළවේ බිහිවිය.  සාමය!!! සියළු නිවීම් සඳහා මාර්ගය එයයි. පරාර්තකාමීත්වය!!! අප වර්ධනය කළ යුත්තේ එයයි. 
         යුද්ධය හා කාන්තාව වටා පමණක්  අම්මා සහ මිහිකත කෘතිය නොදැකීමට තරම් ඔබ ප්‍රබුද්ධ විය යුතුය. සියුම් පුද්ගල භාවයන් කෙරෙහි හා සමාජ යථාර්ථයන් කෙරෙහි අයිත්මාතව් සිය පෑන්තුඩ මෙහෙයවා ඇත. අලීමා එහි ප්‍රතිපලයකි. ඇය හා නැන්දනිය දාරක ප්‍රේමයෙන් වෙලීම එවැන්නකි. තල්ගනායි  සිය පුතුගේ මරණයෙන් පසු අලීමා තවකෙකු කෙරෙහි ඇදී යාම ගැන සතුටු වීමද එවැන්නකි. නමුත් තනිවූ කාන්තාවකට සමාජයෙන් එල්ලවන බලපෑම අලීමාට ද අඩු නැතුව ලැබුණි. ඇය මුලාවකින් අවජාතක දරුවෙකුට මව් වීමට සැරසෙයි. එය සාමාන්‍ය සිදුවීමක් ලෙස අපට බැහැර කල හැකිය. එහි අරුමය නම් නැන්දනි ඊට එරෙහිව වචනයක් හෝ නොදෙඩීමයි. තල්ගනායි සිය දරුවකු සේ අලීමාව පරිස්සමින් බලාගන්නා ලදි. අවසානය තෙක් ඇය සමග ජීවිතේ බෙදාගන්නා ලදී. ඇයට දාව උපන් මව්පිය සෙනෙහස අහිමි දරු කුමරා හදාවඩා ගන්නේ තල්ගනායි ය. ඇය් විටෙක රාත්‍රියේ ගඟ තරණය කොට දරු පැටවාව රැක ගන්නා ලදී. සාමාන්‍ය මනුස්සයෙක් නොකරන තරම් කැපකිරීම් ඇය සිදුකරයි. රට වෙනුවෙන් දරුවන් තිදෙනා හා ස්වාමිපුරුෂයා දී නිහඩව සිටී ඈ අලීමාට ලැබුණූ අවජාතක දරුවා හදාවඩා ගනී. එතෙකින් නොනැවතුන ඇය කසීම් ගේ දරුවා ලෙස ජානබෙලොට් ව හඳුන්වා ඔහුව සුජාත කරයි. අවසායේදී ජානබෙලොට් ද පියාගේ හා සීයාගේ අඩිපාරේ යමින් කොම්බයින් යන්ත්‍රයට ගොඩවේ. 
       " මගෙ පුතේ කාසීම්, නුඹය ඇහෙනවාද! ජීවිතය අමරණීයයි, ගොවි ශ්‍රමය අමරණීයයි! 
        සැබැවින්ම එය සත්‍යකි. ජීවිතය සිතිවිලි තුළ හැමදාමත් අමරණීය වේ. මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිට මෙතෙක් එහි විකාශනය සිදුවූයේ ගොවියා හෙළූ රන්දහදිය බින්දු මතිනි. එක් අතකින් එය සියුම් විවේචනයක් වැන්න. යුද්ධයේ මරණීය බව හා එතුළින් විජයග්‍රහණයක් අපේක්ෂා නොකලහැකි බවත් සාධාරණ ජීවනෝපාය සදා අමරණීය බවත් පවසන්නාක් මෙන් තල්ගනායි ආත්ම භාෂණයක යෙදේ. 
           
              මිහිකත ද මවකි. ඇය සියළු ලෝවැසි ජනයා සිය උරමත හොවාගෙන රැකවරණය ලබාදේ. ඇය කිසිම ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවේ. ඇයගේ එකම අපේක්ෂාව ස්වාභාවධර්මයේ නිර්මාණයන් විනාශ නොකිරීම පමණි. යුද්ධයේ පිළිකුල් සහගතබව චින්ගීස් අයිත්මාතව් විසින් තල්ගනායි හරහා ප්‍රකාශ කරයි. කාන්තාවකගේ අප්‍රතිහත දෛර්‍ය, කැපකිරීම, දරාගැනීම හා උතුම් මව්වත් ගුණය යනාදිය ඇය දරාගෙන සිටින ආභරණ වැන්න. අලීමා යුද්ධයෙන් තැලෙන මලකි. එම මල්වල රොන් උරා ගැනීමට බලා සිටින බඹරුන් නිසා අවසානයේදී අලීමා මිලින වී යයි. චින්ගීස් හට ලෝක යුද්ධ සමීප වන්නා සේ අපටද ඊළාම් යුද්ධය සමීපය. මෙම අවදියේදී උක්ත සියළු කරුණු සියල්ල සිය දහස් ගනනින් සිදු වුණි. සිය දරුවන් සියල්ලන්ම හමුදාවට දන් දුන් ආදරණීය මෑණිවරු තවමත් පොළෝතලයේ ජීවමානව වැඩ වසති. 
අයිත්මාතව් මානව සමාජයේ පුළුල් පැතිකඩක් සියුම් විවේචනයට භාජණය කරමින් රචිත අම්මා සහ මිහිකත කියවාගෙන යද්දී මා හට සමීප වූ සියළු දේ මෙලෙස සටහන් කරමි. අවසාන වශයෙන් උක්ත මහීකාන්තාව මිනිසාට කරන ප්‍රකාශයක් උපුටමින් මම නවතිමි. එය බුද්ධියේ විමසුමට ලක් කිරීම ඔබ සතු වගකීමකි.

                     "නුඹ මිනිස් ප්‍රාණියෙකි, නුඹ අන් සියළු දේට වඩා උසස් ය. සියළු සතුන් ට වඩා මිනිසා බුද්ධිමත් ය.".

                                                    චන්දිම සුපුන්

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)