හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)


 
 

රසිඳු සශ්‍රීක
ඉන්ජිනේරු පීඨය
පේරාදෙණිය  විශ්වවිද්‍යාලය



ඉස්සර නම් තනියම බස් එකේ නැගල කොහෙ හරි ඇවිදල රෑ වෙද්දි ආයෙ ගෙදර එන එක මගෙ පුරුද්දක්. ඉතින් මේක ට්‍රැවලින් පිස්සුවක් කියන්නද වෙන මොකක් හරි කියන්නද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම හරි කැම්පස් එකේ වැඩවලට හිරවෙලා නිවාඩුවක් නැති වෙනකල්ම මං කොළඹ විතරක් නෙවෙයි. නුවරඑලිය, වැලිමඩ, හම්බන්තොට, මාතර, කළුතර වගේ ගොඩක් තැන් මේ විදිහට තනියම කවර් කරල තියනවා. මේ සිදුවීම වුණෙත් ඔය වගේ ඇවිදින්න යන්න හිතුණ දවසක.

ඒලෙවල් ඉවර වුණාට පස්සෙ මං කරපු කොම්පියුටර් කෝස් එකක සහතිකයක් ගන්න මොරටුවට යන්න කියල එදා ගෙදරින් පිටත් වුණේ. සහතිකේ හවස පහට කලින් ගන්න පුලුවන්නෙ. ඉතින් මට හිතුණා පුරුදු විදිහට උදේ කොළඹ පැත්තෙ රවුමක් දාන්න. පුරුදු විදිහට පානදුරෙන් බැහැල මොරටු යන්න ගාලුපාරෙ බස් එකක නගින්නෙ නැතුව හෙමින් හෙමින් පානදුර කෝච්චි ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ගියෙ මගෙ දවසේ සංචාරය තව ටිකක් හොඳ කරගන්න. ගිහිල්ල පානදුරේ ඉඳලා කොටුවට ටිකට් එකකුත් ගත්ත කියමු. ගාල්ලෙ ඉඳල එන එක්ස්ප්‍රස් කෝච්චිය එදා ටිකක් පරක්කුයිද කොහෙද. මන් ඉතින් පලවෙනි වේදිකාවට වෙලා කෝච්චිය එනකල් බලන් ඉන්න මිනිස්සු අතරෙ පැත්තකට වෙලා ඔහේ බලාගෙන හිටියා. ඔෆිස් ටයිම් එක පහුවෙලා නිසා ගොඩක් හිටියෙ රස්සාවල් වලට යන අය නෙවෙයි. එක එක වැඩ කරගන්න, අවශ්‍ය දේවල් ගන්න හේම කොළඹ යන අය කියල මට හිතුණෙ. නිවාඩුවලට ඇවිල්ල නිවාඩුවේ අන්තිම කාලෙද කොහෙද ගත කරන ඉන්දියන්කාරයො තුන්දෙනෙකුත් හිටියා. ඔය අස්සෙ ක්ලාස් කට් කරපු කපල් එකකුත් කෙරෝලෙ බංකුවක වාඩිවෙලා. හැමෝම කෝච්චිය එනකල් තම තමන්ගෙ ලෝක වල. උදේ හොඳට ඉර පායල තිබ්බ දවසක් වුණත් පේන තෙක්මානෙ තියන මුහුදෙ මුහුදු හුළඟ නිසා එච්චර රස්නෙයක් දැනුනෙ නෑ. 
ඔය අතරෙ තමයි මන් දැක්කෙ ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරන් ටිකක් අමුතු මනුස්සයෙකුත් වේදිකාවට ආවා. අමුතු මනුස්සයෙක් කියල හිතුණෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. අවුරුදු පනහක විතර අංකල් කෙනෙක්. ටිකක් උසයි. කළු පාට දිග පාට ගිය පරණ කෝට් එකක් ඇඳලා කළු පාට කලිසමකුත් ගහලා හිටියෙ. මන් ඒත් බැළුවා රස්නෙ දවසක කෝට් එකක් ගහන් මොකද කියල. මූණෙත් ටිකක් බරපතල පෙනුමක් තිබුණෙ. වයසට වඩා මූණ රැලි ගැහිලද කියලත් හිතුණා. බෑග් එකකුත් අතින් අරන් හිටියෙ. මේ දේවල් බලන්න මන් එයා දිහා බැලුව කියල දැක්කද මන්දා, මේ මනුස්සයා හෙමින් හෙමින් වේදිකාවේ මන් හිටිය පැත්තට ඇවිදගෙන ආවෙ නැතෑ. ඇවිත් මට මීටරයක් විතර එහයින් හිටගත්තා. මාත් ඉතින් ලාවට හිනාවක් දාල ඉස්සරහ බලාගත්තා. ඒ වුණාට මට ආයෙ සැරයක් එයාගෙ මූණ බලන්න හිතුණෙ මොකද කියන්න මන් දන්නෑ. මෙන්න එතකොටම එයා මට කතා කරනවා.
"පුතා රත්නපුරේ නේද?"
මං එකපාරට පුදුම වුණා. ඒ මනුස්සයා කොහොමද මන් රත්නපුරේ කියල දන්නෙ? එයත් රත්නපුරේ කෙනෙක් වෙන්න පුළුවන්ද? මට මාර ප්‍රශ්නයක්. ඒක අහන්නම ඕනි නිරාකරණය කරගන්න. ඒත් මට කතා කරන්න වුණේ නෑ. මෙන්න ආයෙ...
"පුතා මොරටුවට බස් එකේ ගියානම් විනාඩි පහළවෙන් යන්න තිබ්බනෙ"
ඒක ඇහුවම මන් නිකන් කරකෝල අතඇරිය වගේ. මන් රත්නපුරේ කියල විතරක් නෙවෙයි. මෙන්න මේ මනුස්සයා මන් මොරටු යන්නෙ කියලත් දන්නවා. තවත් බලන් ඉන්න හොඳ නෑ. මූ එන්නෙ මොකටද දන්නෙත් නෑනෙ.
"අංකල් රත්නපුරේ ද? මාව දන්නවද?"
මං අහන්න පුලුවන් කෙටිම විදිහට ඇහුවා. 
"නෑ පුතා. මන් කොළඹ." 
"එහෙනම් ඇයි මං රත්නපුරේ කියල කිව්වෙ?" 
මට වැඩේ එච්ච්චර ඇල්ලුවෙ නෑ.
"පුතාගෙ අලුතෙන් බෑග් එකේ ටැග් එකේ මට පේනවා රත්නපුරේ ඇඩ්‍රස් එකක්."සරල කටහඬක් හිනාවෙවී උත්තර දුන්නා.
මූ යකෝ..හොයන දේවල්. ඒ වුණාට එතකොට තමයි මතක් වුණේ මම ගිය සතියෙ අලුතෙන් ගත්ත බෑග් එකේ ප්‍රයිස් ටැග් එකවත් ගලවන්න නැතුව ඇති කියල.
"එතකොට මට බස් එකේ නැගල මොරටුවෙ යන්න කිව්වෙ?" මං ඒකත් අහල දැම්මා.
පුතාගෙ වම්පැත්තෙ සාක්කුවේ තියනවා පේනවා (මම සහතිකේ ගන්න ගිය ආයතනයේ නම) තියන කාඩ් එකක්. ඒක තියෙන්නෙ මොරටුවෙ කියල මන් දන්නවා. ඒකත් සාක්කුවේ දාගෙන අද වගේ දවසක මේ පැත්තෙ එන්නෙ එහෙ යන්න බලාගෙන වෙන්නැතිනේ."
හරිම සරල දෙයක්නේ. ඒ වුණාට මගෙ ඔලුව නිකන් හොඳටම විකාර වෙලා තිබුණෙ. මේ මනුස්සයා මොකටද මන් ගැන එච්චර හොයන්නෙ. හැබැයි මොකක් හරි හේතුවකට මට එයාව හිතට අල්ලල තිබුණෙ. කතා කරපු විදිහට එහෙම ලොකු අවුලක් දැනුණෙ නෑ. ලාවට හිනාවක් දාගෙන අත් ඔරලෝසුවේ වෙලාව බල බල හිටපු ඒ මනුස්සයත් එක්ක තව ටිකක් කතා කරන්න මට හිතුණා.

"අංකල් කොහෙද යන්නෙ?" 
කොහෙද ඉතින් මට එයාගෙ සාක්කුවත් බෑග් එකවත් දිහා බැළුවට ඒක හොයාගන්න කිසිම සලකුණක් නෑනෙ. ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුවෙන්න කලින් මෙන්න කෝච්චිය ආවා හූ කියාගෙන. 
'පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ'...
එච්චර වෙලා බලාගෙන හිටපු මිනිස්සු කෝච්චියට නගිනවයි, මිනිස්සු බහිනවයි. එකම කලබලයක් එතන. මාත් ඉක්මන්ට දොර කිට්ටුවට ගිහින් නැගගත්තා. මට අර අරුම පුදුම මනුස්සය එක්ක ටිකක් කතා කරන්නම ඕනි. එයාව කොහොම හරි මගහැරගන්නෙ නැතුවත් හිටියෙ ඒ නිසා. කොහොම කොහොම හරි ඒ මනුස්සයා ගාවින්ම ඉඳගන්න හම්බුවුණා කියමුකෝ. හැබැයි කොහොම හරි මුහුද පැත්තෙ ජනේලෙ අයිනක් අල්ලගත්තෙ මන්. කෝච්චියේ යන ගමන් මග දිගට මුහුදෙ ලස්සන බලන්න පුළුවන්නෙ. දැන් අරයත් බෑග් එකත් උකුල උඩ තියාගෙන මට එහාපැත්තෙ ඉන්නවා. කෝච්චිය හෙමින් හෙමින් කොළඹ පැත්තට යන්න පටන් ගත්තා. 
වෙරළ හෝදගෙන යන එක නවත්තන්න මුහුද දිගේ දාල තිබ්බ ගල්වැටි වල මුහුදු රළ ඇවිල්ල වැදෙන ලස්සන මන් ටිකක් වෙලා ජනේලෙන් බලාගෙන හිටියා. මුහුදු වතුරට ලස්සනට ඉරඑළිය වැටිලා දිළිසෙනවා. ඒ අතරෙ ඔන්න මට ආයෙත් හිතෙනව අර අංකල් එක්ක කතා කරන්න ඕනි කියල. මොකටද බලන් ඉන්නෙ ඉතින්. මං කතා කලා..

"අංකල් මේ කිට්ටුවද? කොළඹ යන්නෙ වැඩකටද?"
"මන් කොළඹ ඉන්නෙ පුතා. මේ වැඩකට ආපු ගමන්." 
එච්චරයි කිව්වෙ. මන් ඉතින් ආයෙ ජනේලෙන් මුහුද දිහා බලාගත්තා. රේල් පාරයි මුහුදයි අතරෙ පාර දිගට පොඩි පොඩි පැල්පත් ගෙවල්, ලෑලි ගෙවල්. එක ගෙයක්වත් පර්ච් බාගයක් ලොකු නෑ. ඒවයෙ ඇටිකිචි සයිස් ළමයි පාර අයිනෙ සෙල්ලම් කරනවා. අවුරුදු පහළවේ දාසයේ ගෑණු ළමයි පොඩි අතදරුවෝ වඩාගෙන. වයසක ආච්චිලා පුටුවක් තියාගෙන ගෙදර දොරකඩට වෙලා රේල් පාරෙ කෝච්චි යන හැටි බලාගෙන ඉන්නවා. ජනේලෙන් බලන් ඉන්න මට මේ සේරම පේනවා. මේ මිනිස්සුන්ගෙ ජීවිත කොහොම ගෙවෙනව ඇතිද? මේ ළමයි, මේ අම්මලා කොහොම දුකක් ජීවිතේ විඳිනව ඇතිද. ඒත් ඒ හැමෝම කොහොම හරි තමන්ගෙ ජීවිතේ ගැටගහගන්නව නෙව. සමහරවිට එයාලෙගෙ ලෝකයේ එයාලා අපිට වඩා සතුටින් ඉන්නවද දන්නෙත් නෑ. මට ගොඩක් දුරට හිතන්න ගත්තා.
"ඔව් පුතා. පුතා හිතපු විදිහ හරි. අපි අපේ ලෝක වල ජීවත් වෙනව වගේ ඒ මිනිස්සු එයාලගෙ ලෝක වල. එයාලගෙ ජීවිතේ තියනව කියල හිතාගෙන ඉන්නෙ එතන. ඒගොල්ලො ඒ තත්වෙන් උඩට එන්න උත්සාහ කරන්නෙ නැත්තෙ ඒකයි."
මං කලින් හිතුවෙ හිටියෙ මගෙ හිතේ තිබුණ අදහස් කතා කරන්න තිබුණනම් කියල. ඉතින් මන් ඒ ගැන ලොකු කයියක් දාන්න හිතාගෙන අංකල් දිහාට හැරුණා. එතකොටම තමයි මට මතක් වුණේ දෙයියනේ මං දැන් පොඩ්ඩකට කලින් හිත හිත හිටිය දේවල් මේ මනුස්සයා කොහොමද ඒ විදිහටම දැනගත්තෙ කියන එක. මේ අනුන්ගෙ හිත් කියවන්න පුලුවන් සාස්තර කාරයෙක් වගේ කෙනෙක්ද? මට එකපාරටම බයත් හිතුණා.
"අ...අංකල් කොහොමද මං හිතුව දේ ඒකයි කියල හිතුවෙ?" ඒක අහද්දි මගෙ කටත් බාගෙට ඇරිලා පුදුමෙටම.
අංකල් ටිකක් හිනා වුණා මන් දිහා බලලා. ඒක එච්චර අමාරු නෑ පුතා. මන් දැන් ටිකක් වෙලා පුතාගෙ මූණ දිහා බලාගෙන හිටියෙ. පුතා පාර අයිනෙ තියන ගෙවල් දිහා බලාගෙන ඉද්දි පුතාගෙ මූණෙ තිබුණ කණගාටුදායක හැඟීම මං දැක්කා. ඒ වෙලේ හිතන්න ඇත්තෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන. ඒ අතරෙ එක පාරම මූණෙ පොඩී හිනාවක් දැක්කා. ඔයා හිතන්නැත්තෙ එයාලගෙ ලෝකවලත් සතුටක් ඇති නේද කියල හිතාගන්න මට එච්චර අමාරු වුණේ නෑ."
කියල එක පාරම අංකල් හිනාවෙන්න ගත්තා. මේ නම් මාර මනුස්සයෙක් තමා. ඒ වෙනකොට මගෙ හිතේ එයා ගැන තිබ්බ බයයි සැකයයි නැත්තටම නැතිවෙලා ගිහින් තිබ්බෙ. එයා කියපු දේවල් වල වැරැද්දක් නෑනෙ. 
"ඒක හරි අමුතුයිනෙ අංකල්. ඒ විදිහට හැමෝගෙම මූණ දිහා බලලා හිතේ තියන දේවල් කියන්න පුලුවන්ද?" ප්‍රශ්න කියන දේවල් හිතේ තියාගන්න හොඳ නෑනෙ.
"ඒක එච්චර අමාරු නෑ" කියාගෙන අංකල් ටිකක් නැවිලා මගෙ කන ළඟට කිට්ටු වුණා. 
"අර දොර ගාව හිටගෙන ඉන්න කොල්ලා වැඩට යන්න පරක්කු වෙච්ච වරාය සේවකයෙක්. එයා වරායෙ වෘතීය සමිති නායකයෙකුත්, එතකොට දොරගාවම සීට් එකේ ඉන්න නෝනා පේනව නේද? අනිවාර්යයෙන්ම ගාල්ල පැත්තෙ පොඩි ඉස්කෝලෙක ගුරුවරියක්. වැඩකට කොළඹ ආව වෙන්න ඕනි...." කිය කිය අපි හිටපු මැදිරියේ ඉන්න බාගයක් විතර මිනිස්සුන්ගෙ රස්සාවයි ඉන්නෙ කොහෙදයි කියලා හෙමින් හෙමින් මට කියන්න ගත්තා. අවුරුදු පහක විතර පොඩි ළමයෙක් එක්ක හිටපු අම්ම කෙනෙක් පෙන්නලා එයාගෙ මහත්තයා අවුර්ද්දකට විතර කලින් නැතිවුණා කියලත් කිව්වා. හරියට දන්නව වගේ. එතකොට මිනිස්සුන්ගෙ රස්සාව මොකක්ද කියලත් මූණ දිහා බලපු ගමන් හිතාගන්න පුලුවන්ද? මට නම් ඒ මින්ස්සුන්ගෙ දිහා බැලුවට එයා කිව්ව දේවල් තහවුරු කරන්න පුළුවන් කිසිම දෙයක් පෙනුනෙ නෑ. හැමෝම කෝච්චියේ යන සාමාන්‍ය මිනිස්සු විදිහට විතරයි පෙනුනේ. මන් ඇහුව අංකල්ගෙන් කොහොමද ඒක කිව්වෙ කියල. මට ඒක දැනගන්නකල් ඉවසිල්ලක් නෑ.
බෑග් එකෙම් ගත්ත පොඩි ඇමරිකන් වතුර බෝතලේකින් වතුර උගුරක් බොන ගමන් එයා පුරුදු විදිහට හෙමින් කතා කළා.
"දැන් බලන්න අර දොර ගාව ඉන්න එක්කෙනා ඇඳගෙන ඉන්න තද නිල්පාට කලිසම. ඒක අවුරුදු ගාණකට කලින් වරාය අධිකාරියේ සේවකයන්ට දීපු නිළ ඇඳුමක කලිසම. බලන්න පැත්ට්ජෙ සාක්කුව ගාව පොඩියට මහල තියන නැවක ලාංචනේ. පිටකොටුවෙ මම දන්න ටේලර් සාප්පුවකින්මයි ඒව මැහුවෙ. පරණ වෙච්ච වරාය කලිසමක් වෙන කෙනෙක් මේ වගේ වෙලාවක ඇඳගෙන එන්න විදිහක් නැති නිසයි මම නිගමනය කළේ ඔහු වරායෙ වෙන්න ඕනි කියල. එතකොට පේනවද එයා උඩ සාක්කුවේ දාගෙන ඉන්න කාබන් පෑන? ඒක දිහා හොඳට බලන්න. එක්තරා වාමාංශික දේශපාලන පක්ෂෙක සමාජ සේවා වැඩසටහනක නමයි ලාංචනෙයි ගහල තියනව පේනවද? උදේ පරක්කු වෙලා වැඩට යන වෙලාවක බයක් සැකක් නැතුව ඔහොම දේශපාලන පක්ෂෙක පෑනක් හැමෝටම පේන්න උඩ සාක්කුවේ දාගෙන යන්න ඕනි කාටද? අනිවාර්යයෙන්ම මේ වරායෙ වෘතීය සමිති නායකයෙක් වෙන්න ඕනි.

එතකොට බලන්න අර සාරියක් ඇඳගෙන වාඩිවෙලා ඉන්න නෝනා. ඇයගේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි දිහා බලන්න. ඒ හරියෙ හමට හානි වෙලා සුදි පාටවෙලා. ඒ ඇයි. දීර්ඝ කාලයක් හුණු කූරක් වගේ දෙයක් පාවිච්චි කිරීම නිසා ඇතිවෙලා තියන අසාත්මිකතාවයක්. ඇය ඇඳගෙන ඉන්න විදිහ, කොණ්ඩෙ බැඳල ඉන්න විදිහ. අතේ තියන බෑග් එක දිහා විමසිල්ලෙන් තේරුම් අරන් බැලුවම ඇය ගුරුවරියක් කියල නිගමනය කරන්න එච්චර අමාරු නෑ. ඒ වගේම මට පේනවා ඇයගෙ එක අතක තියන කෝච්චියේ ටිකට් එක. හොඳට බලන්න. ඒක නිකුත් කරල තියෙන්නෙ කොග්ගල ස්ටේෂන් එකෙන්. ඒ කියන්නෙ ඇය අනිවාර්යයෙන්ම ඒ පැත්තෙ පාසලක ගුරුවරියක්.
මට කතා කරන්නවත් ප්‍රශ්න අහන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. අංකල් කෝච්චියේ හිටපු හැමෝගෙම රැකියාවල් හොයාගත්තෙ කොහොමද කියල විස්තර කරගෙන කරගෙන ගියා. ඇත්තටම මට අහන්න ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ. ඒ තරමට මම පුදුම වෙලා හිටියෙ. මේ මනුස්සයා කියන කිසි දෙයක් වැරදි වෙන්න බෑ කියල මට ටිකෙන් ටික තේරෙන්න ගත්‍තා. මූණෙ හැඟීම් වලින්, බාහිර පෙනුමෙන් මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන, මිනිස්සු හිතන දේවල් ගැන කියන්න පුලුවන් කියන එක මොන තරම් ලස්සන දෙයක්ද? ඇත්තටම මට තේරුන විදිහට ඒකට භාවනා කරලා හිත දියුණු කරගන්නවත් ඕනි නෑ. අපි දකින දේවල් දිහා විමසිල්ලෙන් බලන්න ඕනි. මන් තේරුන් ගත්ත විදිහට ඒකයි අංකල්ගෙ රහස. 
මං එච්චර ලොකුවට ඕව ගැන හිතන්නත් ලැජ්ජ හිතුණා. මොකද මං හිතන්නෙ මොකක්ද කියලා අංකල්ට තේරෙනව ඇතිනේ. කොහොම හරි අපි දෙන්න ඊට පස්සෙ දිගටම කතා කර කර ආවා. හැබැයි එක දෙයක් ගැන මට තාම හිතාගන්න බෑ. මං ඇහුවට අංකල් එයාගැන විස්තර කියන්න එච්චර කැමති නෑ කියල මට හිතුණෙ. කිව්ව විදිහට පිටකොටුවෙ බිල්ඩිමක උඩ තට්ටුවේ කුලී කාමරේක තනිකඩ ජීවිතයක් ගෙවන්නෙ. පානදුරේ ගිහින් තියෙන්නෙ යාළුවෙක් හම්බුවෙන්නලු. වැදගත්ම දේ. මං ඇහුවා අංකල් කරන රස්සාව මොකක්ද කියල.
"මගෙ රස්සාව මගෙ හැකියාව පුතා. මං හම්බු කරන්නෙ මගෙ හැකියාවෙන්. ඒක ප්‍රයෝජනවත් වෙන්නෙ කාටද කියන එල මට එච්චර වැදගත් නෑ" කියල පුරුදු හිනාව දැම්මා. මං කොච්චර ඇහුවත් දුන්නෙ ඒ උත්තරේමයි. කොහෙද මට එයාගෙ මූණ දිහා බලල රැකියාව මොකක්ද කියන්න විදිහක් දක්සකමක් නෑනෙ. වැල්ලවතත් පහු වෙනකල් සමාජෙ ගැනයි දේශපාලනය ගැනයි ගොඩක් දේවල් අපි කතා කර කර ආවා. අංකල් කිව්වෙ නිකන් දේශපාලන අනාවැකි වගේ. එයා එදා ටක්කෙටම වෙනවමයි කියල කිව්ව දේවල් පස්සෙ කාලෙක ලංකාවෙ දේශපාලනය ඇතුලෙ ඇත්තටම වුණා නේද කියල මතක් වෙද්දි මට තාමත් අමුතුම හැඟීමක් හිතට එන්නෙ. මට හිතුනෙ පුදුම මිනිහෙක් විතරක් නෙවෙයි දැනුම ගබඩාවක් කියල. මන් අංකල්ගෙ කතාවට ඒ තරමට වශී වෙලා හිටියෙ. 
ඔය අතරෙ තමයි වැල්ලවත්තෙන් කෝච්චියට නැග්ගෙ පරන ඇඳුමකුයි කැඩිච්ච සපත්තු දෙකකුයි දාගෙන සුදු සැරයටියකින් ඇවිදින ඇස් පේන්නැති මිනිහෙක්. එච්චර වයසකුත් පෙනුනෙ නෑ. ආධාර එකතු කරන්න. දියවැඩියාව නිසා ඇස් දෙකම අන්ධ වුණාලු. දැන් ජීවත් වෙන්න විදිහක් නෑලු. ඔහොම හෑල්ලක් කිය කිය කෝච්චියේ හිටපු අයගෙන් ආධාර ඉල්ලන්න ගත්තා. මගෙ සිරිතක් තියනවා ඇත්තද බොරුද කියල බලන්නෙ නැතුව මග තොටේදි දෘෂ්‍යාබාධිත මනුස්සයෙක් හම්බුවුනොත් උදව් කරන්න. මාත් ඇස් පෙනීම අඩු නිසා කණ්ණාඩි දාන කෙනෙක්. ඒ නිසා මම හැමවෙලේම හිතුවා ඇස් පේන්නෙ නැති අයට උදව් කරන්න ඕනි කියල. එතකොට තමයි මං දැක්කෙ අංකල් ඒ මනුස්සයා දිහා හොඳට බලාගෙන ඉන්නවා.
"ඇයි අංකල්. ඒ ඇත්තටම ඇස් පේන්නැති එක්කෙනෙක් නෙවෙයිද?"
"නෑ පුතා. ඒ විතරක් නෙවෙයි. හොඳ ආදායමක් ලැබෙන කෙනෙක්"
"ඒ කොහොමද එහෙම කියන්නෙ?"
"පුතා එයාගෙ ඇස් දෙක දිහා හොඳට බලන්න. සුදු පාටයි. කළු ඉංගිරිආව පොඩියි. අමුතුයි. දැක්කම හිතෙන්නෙ උපතින්ම ඇස් පේන්නෙ නෑ කියල නේද? 
"ඔව්" මම ඒ දිහා බලාගෙනම කිව්වා
"එතකොට බලන්න මුහුද පැත්තෙ ඉඳල වැටෙන ඉර එලිය එයාගෙ ඇස් දෙකට වැටිල පරාවර්තනය වෙන විදිහයි ඊට එහාපැත්තෙම ඉන්න අනිත් මගියාගෙ ඇස් වලට වැටිලා පරාවර්තනය වෙන විදිහයි. පොඩි වෙනසක් තියනව නේද? අපේ යාළුවගෙ ඇස් දෙක අසාමාන්‍ය විදිහට ඉර එළිය වැටුනහම දිලිසෙනවා. සාමාන්‍ය මිනිස් ඇසලට වඩා. හොඳට බැලුවොත් පේනවා. ඒ කියන්නෙ එයාගෙ ඇස් වල අසාමාන්‍ය පෙනුම අරන් තියෙන්නෙ උඩින් දාපු බාහිර බොරු කාචයක් නිසා. අපිට පිටින් පේන්නෙ ඇස් දෙකම නරක් වෙලා වගේ. ඒ වුණාට ඇතුලෙන් එයාට ඇස් හොදට පේනවා. අනික මේ ගැන හොඳට දන්න කෙනෙක් දැක්කනම් පෙනෙයි ඔහු සුදුසැරයටිය පාවිච්චි කරන විදිහත් සම්පූර්ණයෙන්ම වැරදී කියල. කොහෙද කාටවත් මේවා තේරුන් ගන්න උත්සහ කරන්නෙ නෑනෙ. හැමෝම තමන්ගෙ හීන ලෝක වල ඔහෙ ඉන්නවා."
ඇත්තම තමා. මටත් දැන්නෙ තේරුණේ. මං එළියට ඇදල ගත්ත රුපියල් පනහත් ආයෙ සාක්කුවට දාගත්තා. තව ප්‍රශ්නයක්
"අංකල් කිව්ව නේද මේ හොඳ ආදායමක් තියන කෙනෙක් කියලා?
"ඔව් පුතා. බලන්න එයාගෙ සපත්තු දිහා. දුර්වර්ණ වෙලා කැඩිලා කියල පෙන්නන්න ලොකු උත්සහයක් අරන් තියනවා. ඒත් බලන්න සපත්තු අඩිය. මෙච්චර සපත්තු කැඩෙනකල් බස් වල කෝච්චි වල ඇවිද්දනම් ඉස්සෙල්ලාම වෙන්නෙ සපත්තු අඩිය ගෙවෙන එක. ඒත් එහෙම වෙලා නෑ. අලුත් සපත්තු දෙකක් පරණයි කියල පෙන්නන්න ලොකු උත්සහයක් අරන් තියනවා. බලන්න සපත්තුවේ වර්ගය. ඉතාම මිළ අධිකයි. මේ සේරම නිසා මං නිගමනය කළේ එහෙම."
අංකල්ගෙ ඒ කතාව ඒ මනුස්සයට ඇහුණනම් ආයෙ පොඩ්ඩක්වත් ඒ කෝච්චියේ ඉන්නෙ නැතුව එතනින්ම එළියට පනියි කියල මට හිතුණා. ඇයි නැත්තන් ඉන්න මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙනවනේ. හැබැයි හොඳ වෙලාවට මට ඒක කිව්වෙ කනට කරල හොරෙන්.
දැන් මන් අංකල්ගෙ මේ වගේ විස්තර අහන්නෙ හරි ආසාවෙන්. මග තිබ්බ ස්ටේෂන් වලින් අපේ මැදිරියට නැග්ග අලුත් මගීන් දිහා බලල එයාලගෙ විස්තර කියන්න මාත් ටිකක් උත්සහ කළා ඔය අතරෙ. ඒත් එකක්වත් මට හරියට කියන්න පුළුවන් වුණේ නෑ. අංකල් තර්කානුකූලව විස්තර කරල කියනකල්.

මේ හැම දේම අතරෙ කෝච්චිය බම්බල පිටියත් පහුකරලා කොල්ලුපිටියටත් ඇවිත්. කොල්ලුපිටිය ස්ටේෂන් එකේ අපි නැවතිලා ඉන්න විනාඩි දෙකේදි මං දැක්ක අංකල් ඉස්සරහ ජනේලෙන් සමුද්‍රාසන්න මාර්ගයේ පාර අයිනෙ රේල් පාරත් අයිනට වෙන්න නවත්තල තියන ජීප් එකක් දිහා හොඳට බලාගෙන ඉන්නවා. කිව්වට ඒක හොඳ සුඛෝපභෝගී වාහනයක්. ඉතින් ඒ වගේ තව වාහනත් ඒ පාරෙ අයිනෙ නවත්‍තලා තිබුණෙ. මේකෙ ඔච්චර බලන්න තියන විශේෂෙ මොකක්ද?
"අංකල්. අංකල් මොකක්ද දැක්කෙ?"
මං කලින් දැක්කට වඩා බැරෑරුම් කපටි පෙනුමක් මං අංකල්ගෙන් දැක්කෙ.
"මට ඒ වාහනේ ඉන්න හාදයො දෙන්න එච්චර ඇල්ලුවෙ නෑ"
එතකොට මාත් බැලුවා. හොඳට ඔෆිස් කිට් එක ඇඳගත්ත දෙන්නෙක්. වාහනේට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. කවුරු හරි එනකල් වගේ.
"ඔයාට පේනවද ඒ රජයේ ආයතනයක වාහනයක් කියල. ඉස්සරහ ගහල තියන රාජ්‍ය ලාංඡනේ?" 
මගෙ විමසිලිමත් බවේ හොඳ කොහොමද කියනවනම් ඒකත් දැක්කෙ මම අංකල් කිව්වට පස්සෙ. මටම ලැජ්ජයි
කොහොම හරි ඒ දිහා බලාගෙනම අංකල් ආයෙ කතා කළා
"ඒ දෙන්නා රජයේ ඉහළ නිළධාරීන් දෙන්නෙක් වෙන්න ඕනි. පෙනුමෙන් ඇඳගෙන ඉන්න විදිහෙන් පේනවා ඒක. ඒත් රජයේ වාහනයක් තමන්ම අරන් රියදුරෙක් නැතුව මේ වගේ රාජකාරි වෙලාවක ඇවිල්ලා මෙතන නවත්තගෙන ඉන්මෙ ඇයි? මේ දෙන්න ඉන්නෙ හොඳකට වෙන්න බෑ"
"ඉතින් ඔහොම ඉන්නකොට පාරෙ යන මිනිස්සුන්ටවත් පොලිසියටවත් සැක හිතෙන්නෙ නැද්ද?"
මම ඇහුවා
"මිනිස්සු එච්චර විමසිලිමත් නම් මේ රට හැදිලා ගොඩක් කල් පුතා." එහෙම කියපු අංකල් තොල් හපාගෙන ඒ දිහා බලාගෙන හිටියා. වාහනේ තිබ්බ තැනයි කෝච්චියේ අපි හිටපු මැදිරියයි අතරෙත් සෑහෙන දුරක් තිබුණා. ඒ වුණාට ඒ දුර ගණන් ගන්නෙ නැතුව අංකල් පුරුදු විදිහට වාහනේ හිටපු මිනිස්සුන්ගෙ හැඟීම් නිරීක්ෂණය කරනව කියලයි මට හිතුනේ. ඒත් පාර අයිනේ නවත්තල තිබ්බ අනිත් වාහන වලත් ඔහොම මිනිස්සු හිටියා. ඒත් ඒව ගණන් ගන්නෙ නැතුව හරියටම මේ වාහනේටම අවධානය යොමු කළේ කොහොමද?
"හරිනෙ. මං හිතුවා. ඕක තමයි වෙන්න යන්නෙ කියලා. අන්න බලන්න. අන්න බලන්න" එක පාරටම අංකල් මගෙ කණට කරලා කියන්න ගත්තා. "බලන්න පුතා අර පාරෙ එහා පැත්තෙ කොටුව පැත්තෙ ඉඳල එන කොළපාට ජීප් එක. ඒකෙ ඉන්න මිනිස්සු පේනවද?"
මෙච්චර වෙලා අපි බලාගෙන හිටපු වාහනෙන් ඇස් දෙක අයින් කරල එයා පෙන්නපු දිහා බැලුවා මන්. පාරෙ යමින් තිබුණ සිය ගණන් වාහන අතරෙ කොළපාට ජීප් එකකුත් එනවා. හරියටම අපි කලින් බල බල හිටපු වාහනේට විරුද්ධ පැත්තෙන්. ඒකෙ හිටියෙත් රියදුරයි තව එක්කෙනෙකුයි. දෙන්නෙක්. මට තාම ඒකෙ විශේෂයක් පේන්නෙ නෑ.
මං ආපහු අංකල් දිහා බැලුවා. අංකල් ඇක්ෂන් ෆිල්ම් එකක් බලනව වගේ ඇස් පිල්ලන්වත් ගහන්නෙ නැතුව ඒ දිහා බලාගෙන හිටියේ. 
"අන්න බලන්න. ඒ ජීප් එකේ මිනිස්සු සුදු පාට කොළයක් ඉස්සරහ වීදුරුව ගාවින් තියනවා. ඒක සංඥාවක්. බලන්න ඒක දැක්ක ගමන් අපි කලින් බලාගෙන හිටපු වාහනේ පණ ගනවන හැටි. ඔන්න දැන් ඒකත් හරවගත්තා. ඔන්න දැම්ම පාරට. පේනවද? කොළපාට ජීප් එක පිටිපස්සෙන් ඒ වාහනේ පදවගෙන යනවා. මේකනම් ඒ අයගෙ රාජකාරියේ කොටසක් වෙන්න බෑ" කියාගෙන අංකල් බෑග් එකෙන් ගත්ත පරණ කහපාට ගැහිච්ච සටහන් පොතක මොනවද මන්ද ලියාගන්නව මම දැක්කා. වාහන දෙක නොපෙනී යනකල්ම මන් ඒ දිහා බලාගෙන හිටියා. වුණේ මොකක්ද කියල එච්චර අවබෝධයක් තිබ්බෙ නැති නිසා මට එච්චරම ලොකුවට දැනිල තිබුණෙ නෑ. ඒත් අංකල්ට නම් හරි රසවත් සිදුවීමක් කියල මට තේරුණා. මට කිව්වෙ නැති ගොඩක් දේවලුත් එයා ඒ වෙලේ දැක්කා. මේ සේරම වුණේ අපේ කෝච්චිය කොල්ලුපිටියේ නවත්තල තිබ්බ විනාඩි ගාණටනෙ ඉතින්. දැං කෝච්චිය ආපහු යනවා. ආයෙ අංකල් ඒ ගැන කතා කළෙත් නෑ. මං අහන්න ගියෙත් නෑ. පස්සෙ දවසක මන් දැක්කේ පත්තරේ තියනවා ලංකාවෙ ලොකුම රාජ්‍ය ආයතනයක ඉහළ නිළධාරීන් දෙන්නෙක් ලොකු අල්ලසක් ගන්න ගිහින් පොලීසියට කොටු වෙලා කියලා. ඒකෙයි මට අංකල් හම්බුව්න දවසෙ දැක්ක සිද්ධියෙයි සම්බන්ධයක් තියනවද කියල මන් දන්නෙ නෑ. ඒත් ඒක වෙලා තිබුණෙත් හරියටම අපි කෝච්චියේ ගිය දවසෙමයි. අනේ මන්ද ඉතින්. පුදුමයි.

හැමදාම තමන්ට පුරුදු පාරෙ පුරුදු විදිහටම ආව කෝච්චිය කොටුවෙ ස්ටේෂන් එකටත් ඇවිල්ලා. ඒ වුණාට එදා දවස මට විශේෂ දවසක් කියලා කෝච්චිය දන්නෙ නෑනෙ. ස්ටේෂන් එකේ සෙනග පිරිලා. ගමනාන්තයට ආව කෝච්චිය හෙමින් හෙමින් නැවැත්තුවා. මිනිස්සුන්ට බැහැලා තමන්ගෙ රාජකාරි වලට යන්න ලොකු හදිස්සියක් තිබුණේ. ඒත් මට හිතුණේ කොටුව තව දුර වුණානම් කියලා. මට හම්බුවුණ අරුම පුදුම මනුස්සය එක්ක තව ටිකක් කතා කරන්න පුලුවන්නෙ එතකොට. අන්තිම වෙනකල්ම මම මැදිරියේ හිටියා. 
"එහෙනම් මම යන්නං පුතා. පුතා පරිස්සමින් යන්න" මං දිහා හැරිලා හරිම කරුණාවන්ත කටහඬින් එහෙම කිව්ව මේ අපූරු මිනිසා පිටවෙලා යන අනිත් සෙනඟ අතරට එකතු වෙනව මම දැක්කා. එක පාරටම මට මතක් වුණේ මේ දවස මතක් වෙන්න අංකල් එක්ක සෙල්ෆියක්වත් ගත්තෙ නෑ නේද කියලා. තාම පරක්කු නෑ. මං ඉඅන්ට සාක්කුවෙන් ෆෝන් එක අරන් දිව්වා අංකල් ගිය දිහාවට. ඒත් මහ සෙනඟ අතරේ මට අංකල්ගෙ ඡායාවක්වත් පෙනුණේ නෑ. මං හැම තැනම හෙව්වා. ඒ වෙනකොටත් අංකල් පිටකොටුවෙ නැවතිලා ඉන්නව කිව්ව නවාතැනට යනව ඇති. මං කොහෙන් හොයන්නද ඕවා.
ටිකට් එක බාරදීලා ස්ටේෂන් එකෙන් එලියට බැහැපු මම ලංකා බැංකුව පැත්තෙන් ගෝල්ෆේස් දිහාවට ඇවිදගෙන එන්න පටන් ගත්තා. මගෙහි තේ තාම හොල්මන් කරන්නේ අංකල්ගේ හැකියාව ගැන. මට මතක් වුණේ ෂර්ලොක් හෝම්ස්. තමන්ව හම්බුවෙන්න බේකර් වීදියේ නවාතැනට එන අනුග්‍රාහකයන්ගෙ හැඩරුව බලලා එයාල ගැන සම්පූර්ණ විස්තරයක් කියන්න හැකියාවක් තිබ්බෙ ෂර්ලොක් හෝම්ස්ටනේ. එතනදි හෝම්ස් කියන්නෙ ඒ නිරීක්ෂණ වලින් නිගමන වලට එළඹීමේ හැකියාව කියලා. මේකත් එක්තර විදිහකට එහෙම දෙයක් තමයි. මට හම්බුවුණේ අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් කෙනෙක්.
ඒ වගේ විමසිලිමත්ව තර්කාණුකූලව වටපිට බලනව නම් අපි මෙතෙක් නොහිතපු මොන තරම් දේවල් තේරුම් ගන්න පුලුවන්ද. ඒක එච්චර අමාරු නෑ. මේ කතාව මෙහෙම කියද්දි ඔයාල මාව විශ්වාස කර‍යිද දන්නෑ. මේක මන් ලිව්වෙ මගෙ ඇත්තම අත්දැකීමක් ඇසුරෙන්. එදා දවස ගැන අදටත් මතක් කරද්දි මට හිතෙන එක් දෙයක් තියනවා.
ලෝකෙ අපි නොදකින දේවල් මොන තරම් තියනවද?

                                                        රසිඳු හේවගේ.

Comments

Post a Comment

Popular posts from this blog