අයියනායක පැදි පෙළ ඇසුරිනි ( පද්‍ය)
සෙත්මිණි දිලේකා
ශාස්ත්‍ර පීඨය
කොලඹ විශ්වවිද්‍යාලය
සෙවණැලි අවදි වේ දැන් වැව් ඉවුරු කොනේ
දකිනට නොමැත පෙරදා නුග ගසෙහි බෙනේ
සුදු පිරියමින් සැදි මන්දිර දෙවොල පෙනේ
බලයක් නැතිද මෙහි දෙවියෙක් හිඳිනු දැනේ
බුද සනි විතරමය නැත අන් දවස් වල
සන්හිඳ වටා හවසට ඇත විදුලි සිල
විතරක් නොවේ මිනිසුන් ගම ගෙවල් වල
දැන් නගරෙනුත් එයි පිදුමට මෙහි දෙවොල
වන අතු කඩා ගස් දෙබලක රැඳවීම
මේ කල නොමැත හැර කොඩිවැල් සැරසීම
වැඳි දෙව් යාග නැත දකිනට පෙර සේම
දෙවියන් අහන්නෙත් දැන් කපුවගෙ කීම
වනපෙත කැපෙනවිට සිපගෙන පොරවෙ අත
දාහක් දෙවියො සිටි තැන අද එකෙකු නැත
නොහැකිව බලා ඉන්නට මේ අමුතු වත
හැරගොස් අයියනායක වන ලැහැබ පෙත
Comments
Post a Comment