ඇමරිකානු බල පෙරළිය ලෝක දේශපාලනයට බළපාන ආකාරය




අසිඳු  මුණසිංහ 
නීති පීඨය 
කොලඹ විශ්වවිද්‍යාලය


මේ ලෝක දේශපාලනයේ සංක්‍රාන්ති සමයකි.  එමෙන්ම අතිශය උණුසුම් කාලවකවානුවකි. ලෝක බලවතා තෝරාගැනීමට covid වසංගතය මධ්‍යයේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ඡන්දදායක ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය ලෙස ඉතිහාසගත වෙමින් දැන් අවසන් වී ඇත.


ජනපති Trump පරදා හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණය ජයගෙන ඇත. එහෙත් ජනපති Trump තවමත් තම පරාජය පිළිගෙන නැති බව ඔහුගේ ෆේස්බුක්, ට්විටර් ගිණුම් පරීක්ෂා කරන ඕනෑම අයෙකුට සක්සුදක් සේ පෙනේ.


" ඔවුන් අපේ ජයග්‍රහණය සොරා ගත්තා"

 මේ ට්‍රම්ප්වාදී republican කඳවුරෙන් ඇසෙන චෝදනාවයි. 


නෛතිකව Biden ජනාධිපතිවරණය ජය ගෙන ඇත. ඇමරිකානු ජනතාව ජනපති Trump ට  විවේක දී ඇත. දැන් දැන් ඇමරිකාව තුල මෙන්ම ඉන් පරිබාහිරවද  බයිඩන් ඩෙමොක්‍රැටික් ප්‍රතිපත්ති හිස ඔසවමින් පවතී.


ඇමරිකානු බල පෙරළිය ලෝක දේශපාලනයට නන් අයුරින් බලපෑම් කරනු ඇත. ඇතැම් විට ලෝක දේශපාලනය උඩු යටිකුරු කරනු ඇත .


ට්‍රම්ප් බලයට පැමිණ ඉතා කෙටි කලක් තුළ 

"පැරිස් සම්මුතියෙන්" ඉවත් වන බව පැවසීය. ඒ එය 

'මිල අධික ප්‍රෝඩාවක්' ලෙස නම්කරමිනි.

 එහෙත් බයිඩන් පාලනය තුළ යළි ගෝලීය පාරිසරික සම්මුතීන් සවිමත් වනු ඇත .


හරිතාගාර වායු විමෝචනය අතින් ලොව දෙවන ස්ථානයේ පසුවන ඇමරිකාව ට්‍රම්ප් පාලනය තුළ එයට දැක්වූයේ ඉතා අවම අවධානයකි.

 නමුත් බයිඩන් පාලනය තුළ එය අවම වී ඕසෝන් වියන රැක ගැනීමට අවැසි ප්‍රතිපත්ති වහ වහා යළි සම්පාදනය වනු ඇත .


එමෙන්ම ට්‍රම්ප් පාලනය තුල මුස්ලිම් රටවල් 16 කට පැනවූ සංචාරක සංක්‍රමණික නීති යළි  ලිහිල් වීම බයිඩන් පාලනයේදී සිදුවනු ඇත.


මෙක්සිකානු දේශ සීමාවේ ඉදිවන විශාල පවුර දැන්  සැතපුම් 371 ක්  දුරට ඉදිකර අවසන්ය.

 බයිඩන් පාලනය තුළ එක්කෝ එහි වැඩ අතරමග නවතිනු ඇත. නොඑසේනම් එය ඉදිකර අවසන් වනු ඇත.


ජනපති ට්‍රම්ප් 2019 සිය රාජ්‍යය දේශනයේ දී  "සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමට" ප්‍රතිඥා ලබා දුන්නේ 

"විශිෂ්ට ජාතීන් නිමක් නැති යුද්ධවල නොකරයි" යන තේමාව මුල් කරගනිමිනි. එමෙන්ම ඔහුගේ පාලනය තුළ දී ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව යන රටවල් වල රඳවා තැබූ හමුදා ප්‍රමාණය ද කෙමෙන් අඩු වීම දක්නට ලැබුණි. නමුත් biden පාලනය තුළ යළිත් අනෙක් රාජ්‍යයන්ගේ  ස්වාධිපත්‍යයන්ට බලපෑම් කිරීම ආරම්භ වනු ඇත .


ඔබාමා පාලනය විසින් අත්සන් කරන ලද රටවල් 12ක හවුල්කාරී ගනුදෙනුවක් වන Trans Pacific හවුල්කාරීත්වය ට්‍රම්ප් පාලනය අත හරින ලදී. 

බයිඩන් පාලනය තුළ යළිත් එයට පණ ලැබෙනු ඇත. 


එමෙන්ම ඇමරිකානු චීන වෙලඳ යුද්ධයේ ස්වරූපය ද Biden පාලනයේදී වෙනස් වනු නිසැකය. ලෝකයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවල් එකිනෙකාගේ භාණ්ඩ සඳහා ඩොලර් බිලියන සිය  ගණන් බදු පනවා තිබීම වර්තමාන තත්ත්වයයි. එය කවර හෝ ආකාරයකට වෙනස් වීම නියත වශයෙන්ම සිදු වනු ඇත.


ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආර්ථික ප්‍රතිපත්තිය තුළ ගනු ලැබූ තීන්දු තීරණයන් වන ,

*චීන භාණ්ඩ සඳහා අධික තීරුබදු තීරු බදු පැනවීම. *ජනප්‍රිය ඇප වන ටික් ටොක් සහ වී චැට් බාගත කිරීම තහනම් කිරීම.

*චීන දුරකථන දැවැන්තයා වන හුවාවි දුරකථන සමාගම අසාදු ලේඛණයට ඇතුලත් කිරීම.

යන තීරණ බයිඩන් පාලනය තුළ යළි සමාලෝචනය කෙරෙනු ඇත .


එමෙන් ම ඉරාන ඇමරිකානු අර්බුදය ද නව දෘෂ්ටිවාදී චින්තනයක් යටතේ විග්‍රහයට ලක් කෙරෙනු ඇත. 


බයිඩන් පාලනය යටතේ යළිත් ගල්ෆ් කලාපයේ ආර්ථික බලවතුන් ගේ පූර්ණ සහාය ඇමරිකා එක්සත් ජනපදයට හිමි වන අතර ඇමෙරිකාවේ යුධ බලය වර්ධනය වන බව උපමානය කර ඇත්තේ යුධ අවි සීමාවන් ඉවත් කරනු ඇතැයි යන උපකල්පනය ද දරමිනි.


 එමෙන්ම 2040 දී ලෝක බලවතා වීමේ චීන සිහිනයට ට්‍රම්ප් පාලනය  මෙන්ම Biden පාලනය ද බරපතල අභියෝගයක් එල්ල කරනු ඇත.


ප්‍රජාතන්ත්‍රවාදය සිය  මූල බීජය කර ගත් ඩිමොක්‍රටික් පක්ෂයේ දේශපාලන-ආර්ථික දෘෂ්ටි ධාරාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු වූ ගෝලීය සංවිධාන යළි ශක්තිමත් වීම සිදුවන අතර ඒකාධිපති පැසිස්ට්වාදී රාජ්‍ය පාලනයට බරපතල පීඩනයක් එල්ල වනු ඇත.

 විසිවන සංශෝධනය සම්මත කළ ශ්‍රී ලංකාවට ද එහි පීඩනය අඩු වැඩි වශයෙන් එල්ල වීමට නියමිතය.


බයිඩන් පාලනය තුළ ශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ලෝක දේශපාලනය තුළ රජය යනු ඇති බව ගෝලීය විශ්වාසයයි.


එහෙත් කුඩා රාජ්‍යයන්ගේ  ආර්ථික දේශපාලන ස්වාධිපත්‍යය උදෙසා ඇමරිකාව මෙතෙක් නොකළ ආකාරයේ අතපෙවීම් සහ බලපෑම් කිරීම biden පාලනය තුළ යළි පණ ගැන් වෙනු ඇත.


ජනපති ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රය වෙනුවට ජෝ බයිඩන් පාලනය තුළ වගකීම් සහගත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ආරම්භ වනු ඇත.


සරලවම කිවතොත් සිදුවන්නේ ලෝක බලවතාගේ පිස්සු කෙළීම අවසන් වීමයි.


නමුත් මෙහි දී අමතක නොකළ යුතු කරුණ නම් ජනපති ට්‍රම්ප් පරාජයට පත්වුවද පරාජිතයෙකු ලෙස ඔහු ධවල මන්දිරයෙන් ඉවත් නොවන බවය.

ඉදිරි වසර හතර පුරාවට ද ට්‍රම්ප්වාදී රිපබ්ලිකන් ධාරාව biden පාලනයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත...


ඇමරිකානු ඉතිහාසය ඉරණම් සහගත තීන්දු ගනිමින් සිටී. එම ඉතිහාසයේ දෛවය විසින්ම ඇමරිකානු සහ ගෝලීය දේශපාලනයේ අනාගතය තීරණය කරනු ඇත.....

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)