රස කර කර සීනි කන්න! මධුමේහය වැලඳගන්න ! ( සෞඛ්‍යය)
J.K ඉසුරු
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
දියවැඩියාව නැතිනම් මධුමේහය යනු වර්තමානයේ බොහෝ දෙනා කතාබහ කරන,නමුත් නිසි අවබෝධයකින් අඩු රෝගයක් ලෙස නම් කළ හැක.බෝ නොවන රෝගයක් වන දියවැඩියාව අද වන විට ලෝකයේ වැඩිම මරණ ප්‍රමාණයකට හේතු වූ රෝගයක් වේ.එමෙන්ම පුළුල් පරාසයක දීර්ඝකාලීන අතුරු ආබාධවලටත් හේතුවන රෝගයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා තිබේ.එහෙයින් මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දියවැඩියාව පිළිබඳ සම්පූර්ණ විස්තර කිරීමකි..
අපි හෑමෝම දන්නා ආකාරයට දියවැඩියාව යනුවෙන් හදුන්වනු ලබන්නේ ශරීරයේ සීනි මට්ටම; එසේත් නැතිනම් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යාමයි.මේ සදහා බලපෑම් කරනු ලබන්නේ ශරීරයේම නිපදවෙන 'ඉන්සියුලින්' නැමැති හෝර්මෝනයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමයි.ඉන්සියුලින් යනු රුධිරයේ ග්ලුකෝස් මට්ටම අඩු කර පාලනය කරන ප්‍රධානතම හෝර්මෝනය යි.ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය දුර්වල වන ආකාරය අනුව දියවැඩියා රෝගයේ මූලික ප්‍රභේද දෙකක් හදුන්වා දිය හැක.දියවැඩියාවේ පළමු ප්‍රභේදයේදී සිදුවන්නේ අපේ ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීම හෝ සම්පූර්ණයෙන්ම ඉන්සියුලින් නිපදවීම නැවතීමයි.ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවය කරනුයේ ශරීරයේ අග්න්‍යාශයෙනි.එම නිසා දියවැඩියාවේ පලමු ප්‍රභේදයට බොහෝවිට හේතුවන්නේ අග්න්‍යාශ පටක නැති වීම,ජානමය හේතු,විකිරණවලට දිගුකාලීනව නිරාවරණය වීම,දීර්ඝකාලීන වෛරස් හෝ බැක්ටීරියා ආසාදන,පිළිකා ආදිය නිසා අග්න්‍යාශයට හානි විය හැක.මෙම ප්‍රභේදයේ දියවැඩියා රෝගයට ඇති ජනප්‍රියම ප්‍රතිකාරයක් ලෙස කෘතීම ඉන්සියුලින් එන්නත් කිරීම සිදු කරයි.මීට අමතරව දියුණු රටවල්වල පටක බද්ධ කිරීම වගේ ප්‍රතිකර්මත් භාවිතා කරනු ලැබේ.සාපේක්ෂව එම ප්‍රතිකර්මවලට වැය වන මුදල අධික වේ.
දියවැඩියාවේ වඩාත් බහුලම වගේම ජනප්‍රියම ප්‍රභේදය වන්නේ දෙවන ප්‍රභේදයයි.මෙහිදී සිදු වන්නේ ශරීරයේ ඉන්සියුලින්වලට ඇති සංවේදීතාවය නැති වී යාමයි.අධික තරබාරු බව,ව්‍යායාම මදකම,ආහාර රටාව,පුරුද්දක් වශයෙන් නිතර මත්පැන් භාවිතය,දියවැඩියාව පිළිබඳ පවුල් පසුබිම ආදී නොයෙක් හේතුන් දෙවන ප්‍රභේදයේ දියවැඩියා රෝගයට බලපායි.ඒ වගේම නව යෞවනයන්ට,ගර්භනී කාන්තාවන්ට,තරුණයන්ට සහ විවේකී මැදිවියේ පුද්ගලයන් හට මෙම රෝගය වැළදීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ.දෙවන ප්‍රභේදයේ දියවැඩියාව ඖෂධවලින් තරමක් දුරට පාලනය කළ හැකි වුවත් වඩාත්ම වැදගත් වන්නේ ජීවන රටාවේ හා ආහාර රටාවේ වෙනස්කම්වලින් රෝගය පාලනය කර ගැනීමයි.
ඉහත පැහැදිලි කළ ප්‍රභේද දෙකෙන්ම ඇතිවන දියවැඩියා රෝගී තත්ත්වයේ අවසන් ප්‍රතිඵලය වන්නේ රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යාමයි.අධික ග්ලුකෝස් මට්ටමක් දීර්ඝකාලීනව පැවතීම නිසා ශරීරයේ පටක හා අවයව වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය බිද වැටේ.මේ නිසා තුවාල සුව වීම ප්‍රමාද වීම,පර්යන්ත ස්නායු පද්ධතියේ ආබාධ,වකුගඩු අකර්මණ්‍ය වීම,ඇස් පෙනීමේ දුර්වලතා ආදිය මෙන්ම ග්ලූකෝමා වැනි රෝගි තත්ත්වයද ඇති විය හැකිය.එමෙන්ම අධික පිපාසය,විටින් විට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව,නිදිමත්,අධික ලෙස දහඩිය දැමීම,ක්ලාන්තය,ලිංගික අප්‍රාණිකත්වය,විටින් විට ඇති වන බඩගින්න,නුරුස්සන ගතිය ආදිය දියවැඩියාවේ රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක.
ක්‍රියාශීලි ජීවන රටාව මෙන්ම සමතුලිත ආහාර රටාවක් පවත්වා ගෑනීමෙන් දියවැඩියා රෝගය පාලනය කළ හැක.එය දියවැඩියා රෝග අවධානමෙන් ඈත් වීමට වැදගත් වේ.පලමු ප්‍රභේදයේ දියවැඩියාවේ දී ශරීරයේ බර සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීම අවශ්‍ය වේ.දෙවන ප්‍රභේදයේදී අනවශ්‍ය මේදය දහනය ශරීරයේ බර අඩු කර ගැනීම අවශ්‍ය වේ.දිනපතා ව්‍යායාම කිරීම,මත්පැන් භාවිතය අවම කිරීම හා පිටි සීනි අධික ආහාර ගැනීම අඩු කිරීම මගින් මැදිවියේ ඇතිවන දියවැඩියා අවධානමෙන් මිදීමට හැකිය.මීට අමතරව දියවැඩියා රෝගයෙන් දැනටමත් පෙලෙන පුද්ගලයන් ක්‍රමානුකූල ඖෂධ භාවිතයෙන් හා නිරතුරුව රුධිර සීනි මට්ටම පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම රෝගය නිසි ලෙස පාලනය කර ගැනීමටත්,අතුරු ආබාධවලින් මිදීමටත් හැකි වේ.
Comments
Post a Comment