රජුන් තනන - රජුන් මරන අපේ කාලයේ මාර්කටින්ග් කලාව
සම්පත් බණ්ඩාර
සීවලි මධ්‍ය විද්‍යාලය
රත්නපුර
සාමාන්‍යයෙන් නූතන ලෝකයේ තෙලෙන් කා කිරෙන් අත හෝදන ගානට හම්බ කරන්න පුලුවන් ජාතියේ ධන නිධාන බදුවූ මහා ව්‍යාපාරවල් ඉහේ කෙස් ගානටය. නමුත් මා හිස් මුදුන් තබා වදින බුදුදහම හෝ වේවයි ඒ ඇරුනු විට ඔබ අදහන වෙනත් සම්‍යදෘශ්ටික ආගමක් හෝ වේවයි අනාදිමත් කලක සිට මිනිසෙක් දිවියතත් ධනෝපායනයට යොදා නොගත යුතු යැයි තරයේ හංවඩු ගසා ඇති මත්පැන් , අවිආයුධ , වසවිස වෙලදාම ආදිය අත් හල කල ඒ ඉහේ කෙස් ගානින් අතේ ඇගිලි ගානටවත් ව්‍යාපාර ගානක් ඉතුරු නොවන බව ප්‍රසිද්ධ රහසකි. කතාව ඇත්තය. අපේ මෙලොව සුගතිය අත්කර දියහැකි බොහෝ ව්‍යාපාර අපේ එලොව දුගතිය කරා ඇදදමන ජාතියේ ඒවාය. ලෝකයේ ප්‍රසිද්ධ ව්‍යාපාර විශ්ලේශනයන්ට අනුව සාමාන්‍යයෙන් ඉතා ඉහල ආදායම් ඉපයිය හැකි , අපිට තේරෙන සරලම භාශාවෙන්ම කිව්වොත් හොද ව්‍යාපාර නැතහොත් එලොවත් මෙලොවත් දෙකම ගොඩදැමිය හැකි මාදිලියේ ව්‍යාපාර අතර ප්‍රමුඛස්ථානය දිනාගන්නේ දේපල වෙලදාමයි. විශේශයෙන්ම නූතන ලෝක බලවතා වන ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා සිය ආර්ථික ආධිපත්‍යය මුලින්ම ගොඩනගා ගත්තේ දේපොල වෙලදාමෙන් බව ඔබද දන්නවා ඇතැයි සිතමි. මේ දර්ශක අතර දෙවැන්න ඔසු වෙලදාමයි. ඔසු වෙලදාමෙන් ගොඩගිය විශ්වීය ධන කුවේරයන් ගැන කතා කලොත් අපිට සමීපම උදාහරනය වැඩිදුර නොගොස් අසල්වැසි ඉන්දියාවෙන්ම සපයාගත හැකිය. ඒ ඔබත් මමත් ජීවිතයේ එක් වරක් හෝ නම අසා ඇති මුකේශ් අම්බානිය. එලොව ජීවිතය අල කර නොගෙන මෙලොව ජීවිතයද සැපවත්ව ගතකල හැකි මීලග ප්‍රමුඛතම ව්‍යාපාරය වනුයේ අලෙවි ප්‍රචාරන ව්‍යාපාරයයි. අපිට හුරු සිංග්‍රීසියෙන් කියනවනන් මාර්කටින්ග් ඇන්ඩ් ඇඩ්වර්ටයිසින් ක්ශේත්‍රයයි. ඇත්තටම අපි වැඩිය දිගක් පලලක් නොදුටුවත් අපි දන්නා ටීවි , රේඩියෝ , පුවත්පත් , සමාජ මාධ්‍ය ආදි සියල්ල අයත් වන්නේ මෙකී දැවැන්ත ව්‍යාපාරයටයි. එකම ගැටලුව නම් මහා ග්ලැසියරයක් උඩින් බලන විට පේන්නේ ඉන් දහයෙන් පංගුවක් පමනක් සේම මේ මහා ව්‍යාපාරයේද දැවැන්ත ව්‍යාප්තිය ලෝකය පුරා අක්මුල් ඇද විසිරී පැතිරී තිබෙන්නේ අපට නොපෙනෙන සේ වීමය.
උඩින් පේන අයිසින් තට්ටුව කොච්චර ආකර්ශනීය වුවත් , රසවත් වුවත් ඒ අයිසින් තට්ටුව රැදී ඇත්තේ ඒ යටින් ගොඩ නැගුනු මෙලෝ රහක් නැති බටර් කේක් තට්ටුවක් මතය. ව්‍යාපාරික ලෝකය තුල මාර්කටින්ග් කලාවේ නියෝජනයද මේ වගේය. එකපාර කිව්වම නොතේරුනත් අපි දන්න කියන හැම ලොකු ලොකු ව්‍යාපාරයක්ම ලොකුවට බැලූන් වගේ පිම්බී තියෙන්නේ මාර්කටින්ග් පොම්පයට පිං සිද්ධ වෙන්නය. රෙදි සෝදන සබන් කැට සීයක් ඇති රටේ මිනිස්සු කඩේට ගිහින් සන්ලයිට් ඉල්ලන්නේ මේ නිසාය. මෙච්චර බිස්කට් හදන රටේ මිනිස්සු නම කියාම මන්චි මැලිබන් ඉල්ලන්නේ මේ නිසාය. නිකන් කතාවට කියන්නේ මාර්කටින්ග් ක්ශේතයේ වැඩ කරන මිනිස්සු තට්ටයෙකුටත් පනාවක් විකිනිය හැකි තරම් අම්බ කපටින් කියාය. හිවලුන් ගානටය . අනික් අතට ඔවුන් වෙලාවකට විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාටත් වඩා නිර්මානශීලීය. අපි දන්නා දෙයක නොදන්නා පැත්තක් උලුප්පා පෙන්වමින් ඊට නැති වටිනාකමක් පවා ආදේශ කරන්නට ඔවුන් රුසියන් ය. අපේ අම්මලා තාත්තලා හදිස්සි අත මාරුවකට මාලයක් උගස් කලපසු මුහුන එල්ලාගෙන තැවි තැවී ඒ ගැන හිතද්දී ටීවී වල අපි දකින් නැන්දලා මාල උකස් කර හරි සතුටින් උඩ පැන පැන ගෙදර ගියත් එය ෆැන්ටසියක් මිස තිත්ත වූ ඇත්ත නොවේය යන්න අපිට නොතේරේ.
ඒ නිසා ඔවුන් එක පැත්තකින් වංචාකාරයින් ය . තව පැත්තකින් මහා මොලකාරයින් නොව මහා මොල ගෙනාපු නැව් ය. මේ ක්ශේත්‍රයේ ආචාර ධර්මයක් හා සම්මතයක් ලෙස මේ අපි දකින ප්රචාරක දැන්වීම් නිර්මානය කරන ආයතන හෝ නිර්මානකරුවන් ගැන ප්‍රසිද්ධ නොකලද ඔවුන් කොපමන අත මිට සරු මිනිස්සුන්දැයි දන්නෝ දනිති. අලෙවි ප්‍රචාරනය නියත ලෙස පල දරන බව දන්නා නිසා ආයෝජකයින්ද ලොස් නැතුව මේවාට වියදම් කිරීම මීට හේතුවයි. සාමාන්‍යයෙන් ටිවී තිරයේ අප දකින විනාඩියක් වත් නැති සමහර ඇඩ් පටයක් තනන්නට චිත්‍රපටයකට වඩා සල්ලි වියදම් කර ඇති බව කියන්නේ මේ නිසාය. මේ ක්ශේත්‍රයේ වෘත්තිකයින් කියන කතාවල හැටියට මිලියන හතරක් පහක් වැනි ඔබට මට හිතාගන්නට වත් නොහැකි ධනස්කන්ධයක් පවා මෙවැනි වෙලද දැන්වීමක් නිර්මානයට යොදවන සාමාන්‍ය මුදලකි.
පසුගිය කාලේදී කොරෝනා අවදානම යටතේ සීමා සහිතව සිදුකල මැතිවරන ප්රචාරනයන්හීදී මේ මාර්කටින්ග් කලාවේ ප්‍රබලත්වය සමාජය තුල දැඩි ලෙස ඉස්මතු විය. ගෙයින් ගෙට යාම සීමා වීමත් , පෝස්ටර් කටවුට් සීමා වීමත් එක්ක බොහෝ අපේක්ශකයින් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා තම මනාප අංක මාර්කට් කිරීම මීට අවකාශය සැලසීය. ඒ අනුව බොහෝ අපේක්ශකයින්ගේ චිත්තාකර්ශනීය තේමා ගීත , පූර්ව ප්රචාරක පට ආදිය අප අනවරතයෙන් දුටුවෙමු.
සමහර ඒවා දකින විට අපේ පපු කැවුතු උනු වේ. ඉහ මොල රත්වේ. රෝම කූප කෙලින් වේ. ඒ ප්රචාරනයේ ප්රබලත්වයයි. ජනාධිපතිවරන ඉතිහාසය දෙස බලන විට පවා හැමදාම ජයග්‍රහනය කලේ ආකර්ශනීයම තේමා ගීතය හෝ ගීත සමූහය ඉදිරිපත් කල පුද්ගලයා බව කිව නොහැක්කේ කාටද ? දත්ත පාදකව අධ්‍යයනය කලොත් කිසිවෙකුට මීට එදිරි විය නොහැක.
මැතිවරන විශ්ලේශකයන් පවා අපේක්ශකයන් වෙත පාවෙන චන්ද ඇදගැනීම සදහා මෙය ප්‍රබල බලපෑමක් එල්ල කරන බැව් පැවසීමෙන් මෙය වඩා කුලු ගැන්වේ.
අද වනවිට චන්ද හදන්නට පමනක් නොව ප්‍රතිවිරුද්ධ අපේක්ශකයින්ගේ චන්ද කඩන්නටද මේවා භාවිතා කෙරේ . සයිබර් මාධ්‍ය ඔස්සේ සිදුවන මඩ ප්‍රහාර මෙහිදී ප්‍රබල වේ. අටුවා ටීකා ටිප්පනි අනවශ්‍යය. යමෙකුට මීට නිදසුන් අවැසි නම් මෙහි නවතම ස්වරූපය දැනුත් යූ ටියුබ් ට්‍රෙන්ඩින්ග් ලැයිස්තුවේය. මේ නිසා කවුරුන් මොනවා කීවත් මාර්කටින්ග් කලාව ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටක රජුන් තනන්නටත් රජුන් මරන්නටත් භාවිතා කල හැකි ප්‍රබලම ආයුධය බව ප්රත්යක්ශ වේ. එහි වටිනාකම් නොවටිනාකම් සංවාදය ඔබ සතු කරුනකි. නමුත් මා මෙකී සකලවිධ සාධනීය නිශේධනීය මානයන් අතර සුබවාදී දැක්මක් මතු කරමින් නැවතීමේ තිත තබමි. මාර්කටින්ග් නිසා ඉතිහාසයේ කලාවට ලැබුනු වැඩිම මූල්‍යමය වටිනාකම කලාවට ලැබී ඇත.
Comments
Post a Comment