සිරගත විද කත?

තිසංජා සුබසිංහ 
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය



කාන්තාව වනාහි සාහිත්‍යයේ ද, දේශපාලනයේ ද, සමාජයේ ද, ආදරයේ ද , යන්නා වූ වපසරියන් ගණනාවක සංකීර්ණ ප්‍රස්තුතයක් වූ, මනුෂ්‍ය වර්ගයෙහි ලිංගිකත්වය මත පදනම් ව පුරුෂයන්ගෙන් අන්‍ය වූ වර්ගය යන්නට වඩා එහායින් ගිය, සංකල්පයකි. ඉහත කී සෑම ක්ශේත්‍රයකම කාන්තාව පුරුෂයාට සාපේක්ෂව සංකීර්ණභාවය ජීව ගුණයක් ලෙස උරුම කරගෙන ඇත . එනම් පුරුෂයාට වඩා විචාරයට භාජනය වන හැඩතල ගණනාවක් කාන්තාවන් තුළ දක්නට ඇති බව පෙනේ .

එෆ්. ඩබ්ලිව් බෙයින් ගේ " A Digit of the moon" හින්දු පෙම් කතාවේ සිංහල අනුවාදය වූ "සඳ රේඛාව" කෘතියෙහි මහා බ්‍රහ්මයා විසින් කාන්තාව මැවීම අපූර්ව ලෙස විග්‍රහ කොට ඇත.

"........ඔහු හදේ වටකුරු බව ,ලිය වැල්වල ඇති නම්‍ය බව, වැල්වල, පහුරු වල ඇති යම් අගට එල්බ ගැනීමේ හැකියාව ,තණ පත් වල තිබෙන චලිත භාවය , බට ගස් වල තිබෙන සිහින් බව ,මලක විකසිත භාවය ,ගසක පත්‍ර වල ඇති සැහැල්ලු බව ......"  යනාදී වශයෙන් දක්වා ඇත.

ඉහත උද්ධෘතය කාන්තාවන්ගේ එක් පැතිකඩක් වන මධුර භාවය සාහිත්‍ය තුළ සංකල්පයක් බවට පත්වී ඇති ආකාරය මැනැවින් නිරූපණය කරයි .

ඉහත දැක් වූ ආකාරයට පූර්විකාවක් ලබා ගත්තද මෙම රචනය දිශාගත වන්නේ කාන්තාව යන සංකල්පය සාහිත්‍ය තුළ යොදා ගත් ආකාරය මූලික කොටගෙන  නොව "සමාජ ජීවියෙක් ලෙස ඇයගේ තත්ත්වය" කරණ කොට ගෙනය .

මනුෂ්‍යයා අන් සත්වයන්ට වඩා ඉහළ වූ මනෝමය වර්ධනයක් ලබාගෙන කුටුම්බගත වීමෙන් පසු , කුටුම්භ වගකීම් ද්වි ඛණ්ඩනයෙහි ප්‍රතිඵලයක් ලෙස, ආහාර සොයායෑම ආරක්ෂාව සැපයීම වැනි කර්තව්‍යයන් පුරුෂයාටත් ,ගෘහස්ථ වගකීම් කාන්තාවටත් උරුම විය . පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස මෙය වර්ධනය වූ වත්  වර්තමානය වන විටත්,  මෙම රාමු ගත කිරීම තවමත් පවතී.

කාන්තාව හා පුරුෂයා අතර පවතින වෙනස නිර්මාණය වීමට ජෛව විද්‍යාත්මකව පමණක් නොව  මනෝවිද්‍යාත්මකව මෙන්ම සමාජ විද්‍යාත්මකවද, යම් යම් අනන්‍ය වූ ලක්ෂණ හේතු වී ඇත. නමුත් මෙම බෙදීම කරණ කොටගෙන  සමාජ ජීවියෙක් ලෙස හිමිවිය යුතු  යම් යම් අයිතිවාසිකම් හෝ අවස්ථාවන් අහිමි වන්නේ නම් එය කණගාටුවට කරුණකි .සරලවම කිවහොත් තමන් කාන්තාවක් වීම නිසා තමන්ට පවතින සමාජමය අයිතිවාසිකම් ප්‍රමාණාත්මක වශයෙන් තර්ජනයකට ලක් වන්නේ නම් එය කණගාටුදායක ය .
ඉහත සඳහන් කළ පරිදි කුටුම්භ වගකීම් ද්විඛණ්ඩනයෙහි ලා රාමු ගත කළ ද නූතනත්වය  හමුවේ ඉහත රාමුව දෙදරා ගොස් ඇති අතර වත්මන් සමාජයේ  බොහෝ කාන්තාවන් පුරුෂයා සහජයෙන් උරුම කර කර ගෙන එන්නා යැයි සලකන  වෘත්තිමය වගකීම ද ගෘහස්ථ වගකීම් මෙන්ම ඉටුකරනු ලබයි . සමාජයේ බොහෝ කාන්තාවන් දරුවන් රැකබලා ගැනීම, ගෙදරදොර වැඩ කටයුතු සිදු කිරීමට අමතරව වෘත්තිය සිදු කිරීම ද  බොහෝ රටවල සාමාන්‍ය තත්ත්වයයි.එය රටක සමාජ දියුණුවේ එක් සාධකයක් ලෙස ද දැකිය හැක .එබැවින් "ගෘහස්ථ වගකීමෙන් ඔබ්බට කාන්තාව" යන වස්තු බීජය  විවිධ රටවල්, විවිධ සංස්කෘතීන් ඒ ඒ හරපද්ධතීන් නූතනත්වය සමග ඈදා ගෙන, අඩු වැඩි වශයෙන් සමාජ පද්ධතියට එක්කර ඇත. 
ස්ත්‍රීවාදය වනාහි ලෝකය තුළ පවතින සමාජ ප්‍රවණතාවයන් හි ආභාසය ගෙන වර්ධනය වෙමින් පවතින පුළුල් සංකල්පයක් වන අතර, මෙම රචනය ස්ත්‍රීවාදය යටතට ගන්නේ හෝ නොගන්නේ හෝ වේවා, පූර්වයෙහි දැක්වූ අදහස් වලින් මෙය මග පාදා ගන්නේ සමාජ පද්ධතිය තුළ තුල  "ගෘහස්ථ ජීවිතය,  ,වෘත්තීය ජීවිතය හා කාන්තාව යන්න යි."

මෙය මනංකල්පිත ආභාසයක් සහිතව ලියන ලද්දක් නොවේ. සමාජයේ ඕනෑතරම් සිදුවන,කතාබහට ලක්වන සිදුවීම් ඇසුරු කිරීමෙන් උත්පාදනය වූ හැඟීම් පෙළගැස්වීමක් ලෙස ද කිව හැක  .


ඒ සඳහා මඟ පාදා ගැනීමට එක් උදාහරණයක් ලෙස මා ඉතා හොඳින් හඳුනන, මගේ මවගේ මිතුරියක් මට කියූ කතාවක් දිගහැරීමට කැමැත්තෙමි. 
ඒ කාලය වන විට ඇය වෘත්තියෙන් ගුරුවරියක් වන අතර ඇයගේ සැමියා සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ රැකියාවක් කළේය.විවාහයෙන් ටික කලකට පසු ඇයගේ සැමියාගේ පවුලේ අය ඇයට බල කළේ රැකියාවෙන් ඉවත් වී ගෙදරට වී සිටීමට ය. ඇය කෙසේ හෝ එම තත්ත්වයන් පාලනය කරගෙන සිටි අතර කුළුඳුල් දරුවාගේ උපත සමඟ මෙම බලපෑම් දැඩි විය. රැකියාවෙන් ඉවත් වීමට ඔන්න මෙන්න යැයි සිටියදී ඇයගේ මව මෙම සිදුවීමට මැදිහත් වූ බව ඇය කඳුළු හැංගූ දෑසින් මට ප්‍රකාශ කළේ ඇගේ මව කළ ප්‍රකාශයක් දක්වමිනි.

"  මං මේ ළමයට දහදුක් විඳලා ඉගැන්නුවේ, කැම්පස් යැව්වේ ගෙදරට වෙලා බත් තම්බන්න නෙවෙයි ".

කෙසේ හෝ එම තත්ත්වය මර්දනය වූ අතර ,කුළුඳුල් දරුවාට යන්තම් අවුරුදු තුන සම්පූර්ණ වූ තැන නොසිතූ ලෙස සැමියාගේ රැකියාව අහිමි විය.

" එදා මං රස්සාවෙන් අයින් උනා නං දුව අපිට තිබ්බ ණයත් එක්ක  අපිට  වෙන්නේ පාරක් පාරක් ගානේ හිඟාකන්න ." ඇය සඳහන් කළාය.

අද ඇය විදුහල්පතිතුමියක් වන අතර සැමියා ව්‍යාපාරිකයෙකි.කුලුඳුල් දරුවා වෛද්‍ය ශිෂ්‍යයෙක් වන අතර දියණිය ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබයි . අද ඔවුහු ඉතා සාර්ථක හා ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරති.


ඉහත කතාවෙහි රචනයෙහි අරමුණට සම්බන්ධ වන්නේ ඇයගේ සැමියාගෙ පවුලේ සාමාජිකයන් ගේ මතය සහ පසු තත්වය අතර ඇති අසමතුලිතතභාවයයි. සමාජ කුලකයෙහි එක් අවයවයක් ගෙන සමස්ත සමාජයම සාමාන්‍යකරණය කිරීමට ගන්නා ලද ප්‍රයත්නයක් නොව, ආකෘතිගත කල හැකි අවස්ථා වර්ගයක එක් උදාහරණයක් පෙන්වීම පමණි. එය ඉදිරිපත් කිරීමට හේතුව කතාව ඉදිරිපත් කරන අවස්ථාවේ ඇයගේ අනිච්ඡානුග හැඟීම් ප්‍රකාශනයද , වාග් විලාසයද කතාවෙන් ගතහැකි පදනම් සාධකය වඩාත් මගේ සිතට කාවැද්දූ නිසාවෙනි.

ලොව පැවැති සමහරක් සංස්කෘතීන් වලට සාපේක්ෂව ,ලාංකික සමාජ හර පද්ධතිය තුළ "මව" මූලික කොටගෙන "ස්ත්‍රිය" යන්නට , අගය කළ කළ හැකි ,ඉතා සතුටුදායක මට්ටමේ ගෞරවනීය වටිනාකම ක් හිමි වී තිබුණි . එහි දිගුවක් ලෙස දහනමවන සියවසේ ලොව බලවත් රාජ්‍යයන් ලෙස සැලකූ සමහර  රාජ්‍යයන් කාන්තාවන්ට අයිතිවාසිකම් ලබා දීමේ වේගයට වඩා , වේගයෙන් ලාංකීය කාන්තාවට එම අයිතිවාසිකම් ලැබීම දැක්විය හැක. උදාහරණයක් ලෙස එංගලන්ත ස්ත්‍රීන්ට පුරුෂයන්ට හා සමානව ඡන්ද ඡන්ද බලය ලැබුණේ 1928 දීය . බ්‍රිතාන්‍ය කාන්තාවන් ඡන්ද අයිතිය හිමි කර ගැනීමෙන් වසර තුනක් වැනි කෙටි කාලයකට පසුව එහි ම  යටත්විජිතයක් වූ ලංකාව ඡන්ද බලය සම්පූර්ණ කර ගැනීම ජාත්‍යන්තර වශයෙන් මෙන්ම  ඓතිහාසික වශයෙන් වශයෙන් ද වැදගත් ය.ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලංකාවෙන් බිහි වීම ද පූර්ව හි සඳහන් කළ හර පද්ධතියෙහි සෙවනැලි කියාපායි. 

මෙවැනි ඓතිහාසික සාධක පැවතුනද, උක්තයෙහි සඳහන් කළ වෘත්තීය වගකීම් හා ගෘහස්ථ වගකීම් සමතුලිත කරන කාන්තාව පිළිබඳ නිශේධනාත්මක පැතිකඩක් පිළිබඳ  අදහස් දක්වන පුහු ගතානුගතිකවාදීන් නගන තර්කයක් පවතී. එනම්, මෙම සමබර කිරීම මඟින් කුටුම්භ පදනමට හානි වන්නේය යන්නයි.ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන විසඳුම නම් කාන්තාව වෘත්තිමය අයිතිවාසිකම් වලින් වියුක්ත කළ යුතු බවයි.

"උඹ ගෑනියෙක් නේ .රස්සාවක් කරන්න ඕන්නෑ.ගෙදර වැඩක් බලාගෙන හිටපන්." 

මා පුනරුච්ඡාරණය කරන්නේ, මා කාන්තාවක්  වීමේ වාදභරිතභාවය බලපෑමේ සම්භාවිතාවයක් තිබිය හැකි වුවත් මෙය  මනංකල්පිත අන්තගාමීත්වයක් ආරූඪ කරගෙන ලියන්නක් නොවේ. රචනයෙහි පදනමට අදාළව, සමාජය තුළ මා දැක ඇති අසා ඇති සිදුවීම්වල සියුම් තැන් සිතට කා වැදීමක් නිසා පැන නැගුණු හැඟීම් සමුදායක් ලෙසද මෙය දැක්විය හැක.

එනම් ,කාන්තාවක් විවාහයෙන් පසු අධ්‍යාපනය හදාරන්නේ නම් ,රැකියාවක උසස්වීමක් ලබා ගැනීමට මහන්සි වන්නේ නම් මධ්‍ය පරිමාණ හෝ මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් තම ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන්වත් නොනැඟෙන විවේචන ඉහත කී පුහු ගතානුගතික මතධාරින්ගෙන් නැගේ.ඔවුන්ගේ මතවාදයන් සන්තර්පණය  කිරීමට  අවශ්‍යනම් කල යුත්තේ ඉහත කී අරමුණු ඉවතලා නිවසට වී සිටීමය.  මොවුන් තුළ පවතින කුහකත්වය යන නිරුවත වසා ගැනීමට මොවුන් භාවිතා කරන රෙදිකඩ නම් "සම්ප්‍රදාය" නම් තර්කය යි. කණගාටුවට කරුණ නම් මෙවැනි මත දරන බොහොමයක් පිරිස කාන්තාවන් වීමයි.

සම්ප්‍රදාය හා නූතනත්වය සමතුලිත කළ නොහැකි සංකල්ප දෙකකි. එනම් සම්ප්‍රදාය හා නූතනත්වය එක මත එක තැබිය හැක්කේ එක්කෝ පරිණාමයේ ආරම්භයේ විය යුතුය.එනම් ශූන්‍යයෙහි ය. නැතිනම්  මනුෂ්‍ය පරිණාමයේ අවසානයෙහිය.එනම් පරිපූර්ණ අවස්ථාවෙහි ය. මක් නිසාද අප දැන් මහත් පුදුමයෙන් වැලඳගන්නා නූතනත්වය පසු කලෙක සම්ප්‍රදාය බවට පත්වන  බැවිනි.

කාන්තා අයිතිවාසිකම් හෝ කාන්තාවට ලැබිය යුතු නිසි වටිනාකම පුරුෂයන්ගෙන් දිනාගත යුතු දෙයක් නොව සමාජය ට හුරු කළ යුතු දෙයකි.මා සමාජය තුළත් සමාජ මාධ්‍ය තුළත් අත් දැක ඇති දෙයක් වන්නේ යම් ක්ෂේත්‍රයකින් කාන්තාවක් ඉදිරියට ගිය පසු ඇයගේ දක්ෂතාවය අගය කරන පිරිසක් සිටින මුත් තවත් පිරිසක් බොහෝ විට ඇයගේ පෞද්ගලික ජීවිතය හෝ පවුල් ජීවිතය හාරා අවුස්සා අඩුලුහුඩු තැන් තම තමන්ගේ අවශ්‍යතාවය අනුව නිගමනය කිරීමට යෑමයි. මාගේ දෘෂ්ටිය අනුව එම අසාධාරණ නිගමනය කිරීම් පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට ප්‍රමාණාත්මක වශයෙන් ඉතාමත්ම වැඩිය. කාන්තාව  බලගැන්වීම කළ යුත්තේ සමස්ත සමාජයම එක්ව නැගී සිටීමෙන් ය. ප්‍රථමයෙන්ම සමාජයක් ලෙස  අපි එය විශ්වාස කළ යුතුය, පිළිගත යුතුය, ක්‍රියාවෙහි යෙදවිය යුතුය.  අධ්‍යාපනය ලැබීම ,ස්වාධීන අදහස් දැරීම , තමාට අවශ්‍ය වෘත්තියක් කිරීම හා ඒ සඳහා සුදුසුකම් සපුරා ගැනීම විවාහයෙන් පසු  අවසන් කළ යුතුවේ යැයි සිතන කාන්තාවන් මෙන්ම තරුණියන් ද නැත්තේ නොවේ. යම් අවස්ථාවල ඔවුන් සමාජ සම්ප්‍රදායට ගරු කරායැයි තම සිත රවටා ගනිමින්, වක්‍රාකාරව සමාජය සන්තර්පණය කරමින්, මනුෂ්‍යයෙක් ලෙස දකින ලද සිහින අරමුණූ පාවා දෙන්නේය. නමුත් ගෘහස්ථ වගකීම් සහ වෘත්තීය වගකීම් ඉතා සාර්ථකව තුලනය කරමින් ජීවිතය ගත කරන කාන්තාවන් ද නැත්තේ නොවේ. එනයින්, ආදේශ කළ යුත්තේ මානසිකත්වයයි. ලාංකීය සමාජය ඇගයිමට ලක් කරන්නේ නම් එම දර්ශකය තුළ තුල ලාංකීය සමාජය මධ්‍යස්ථභාවයක් උසුලයි. ආදි ඉන්දීය බ්‍රාහ්මණ යුගයේ අයිතිවාසිකම්වලින් වියුක්ත කළ කාන්තාව වැනි, සංස්කෘතික රාමුවෙන් බැට කන  තත්ත්වයක් උරුම කරගත් කාන්තාවත්, පූර්ණ වශයෙන්ම එම බෙදීම සැලකිල්ලකට භාජනය නොකරන සමාජයක කාන්තාවත්, අතර තත්වයක් විවිධ පන්ති තුළ අඩු වැඩි වශයෙන් ලාංකීය කාන්තාව භුක්ති විදි. ඒ අනුව මේ පදනම් රහිත,පුහු,මුග්ධ මානසික තත්ත්වය තවදුරටත් පරිණතභාවයට පත්විය යුතුය.

කාන්තාව දේශපාලනය , ආර්ථික ක්ෂේත්‍රය තුළ ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. එක් උදාහරණයක් දක්වන්නේ නම් සදාචාරමය පදනම කුමක් වුවත් ලංකාවේ වැඩිම විදේශ විනිමය සපයන මූලාශ්‍රය කාන්තාවන්ය.ලෝක දේශපාලනයෙන්  උදාහරණයක් ගන්නේ නම් covid 19 වසංගත තත්වය හමුවේ ධනවත් බලවත් රාජ්‍යයන් අසාර්ථක වෙද්දී , එය ඉතා සාර්ථක ලෙස මැඩ පැවැත්වූ රාජ්‍යයක් ලෙස නවසීලන්තය දැක්විය හැකි අතර එහි පාලනය මෙහෙයවන්නේ කාන්තාවක් ය.

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය ප්‍රතිජනනාත්මක අයුරින් ඵල ලබා දී  තුරන් වූ දින "කාන්තාව" ට නිසි සමාජ වටිනාකම බලාපොරොත්තුවන්නන්ට ආනන්දය උදාවේ.එය වැඩි ඈතක නොවේ යනුවෙන් දක්වමින් මෙම රචනය අවසන් කළ නොහැක.එනම් එය බොහෝ දුරය.

      ✒️  තිසංජා සුබසිංහ

Comments

Post a Comment

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)