මැතිවරනය ඉදිරියෙන් - මීටරෙන් සිටිනු
සම්පත් බණ්ඩාර
සීවලි මධ්‍ය මහ විද්‍යාලය
රත්නපුර
ක්‍රිස්තු වර්ශ 1931 දී ඩොනමෝර් සාමිවරයා ඇතුලු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන කොමිසම විසින් ඊට තෙවසරකට පෙර ඉදිරිපත් කල යෝජනා ප්‍රකාරව මෙරටට සර්වජන චන්ද බලය ලබාදෙන විට මෙරට එදා වේල හම්බ කරන් කා උන් සාතිශය බහුතරයක් වූ ගම්බද ගැමියෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැනසිටි උලව්වක් නොවුනි. නමුත් ජෝර්ජ් රජ්ජුරුවන්ගේ රටේ සුදු උත්තමයොත් 1928 දී මුල්ම වරට රහබැලූ සර්වජන චන්ද බලය නම් ලද මේ අමුතුම ටොපිය එංගලන්තවාසීන්ද තමන් මුල්ම වරට දිවගා රසය යාන්තමට වාගේ තේරුම් ගත් විගසම හැරෙන තැපෑලෙන් සිලෝන් නම් වූ මේ හිච්චි ඇටයට එවීම එකල පත්තරකාරයින්ට මෙන්ම ජාතික නායකයින්ටද මහත් ගර්වයකින් පට්ට ගැසීමට තරම් උනුසුම් උද්දෘතයක් වූ බැව් කියැවේ.මේ නිසාමද කොහෙදෝ සර්වජන චන්ද බලය ගැන හූනු බිජුවක තරම්වත් දෙයක් නොදනිතත් රජ්ජුරුවන්ගෙන් ලද තෑග්ගක් නිසාම මෙරට බොහෝ වැසියෝ මෙරට පලමු රාජ්‍ය මන්ත්‍රන සභා මැතිවරනයේදී පෙලගැසී පේලි සැදී මේ ටොපියේ රහ බලන්නට ඉදිරිපත් වූහ. මේ පලමු මැතිවරනය වන විට මෙරට තරගකාරී පක්ශ ක්‍රමයක් සංවිධානය වී නොතිබූ නිසා චන්දය සදහා ඒ ඒ කේවල මන්ත්‍රී කොට්ටාශ වලට තරග වැදීමට අපේක්ශකයින් ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ශකයන් ලෙසටය. පක්ශ කියා ජාතියක් නොතිබූ නිසා ලකුනු ද නොවුනි. හැම අපේක්ශකයාටම ආන්ඩුවෙන්ම වර්නයක් ලබාදුනි. චන්දය දාට චන්ද පොලේ මේ සෑම වර්නයකින්ම පෙට්ටි තබා තිබූ අතර චන්දදායකයාට චන්දපොලේදී ලැබෙන කූපනය තමන් කැමති අපේක්ශකයාගේ වර්නයට අදාල පෙට්ටියට දමා චන්දය ප්‍රකාශ කල හැකිවිය. මේ කාලය වනවිට තරමක් දුරට රැල්ලේ සැර බාල වී තිබුනත් ඩොනමෝර් කොමිසම සර්වජන චන්දබලය යෝජනා කරන්නට යන බව ආරංචි වූ දා සිටම ලංකා ජාතික සංගමය ඇතුලු බොහෝ ස්වදේශීය සමාජයේ උගත් මධ්‍යම පාංතික ව්‍යාපාර ලාංකේය ජන සමාජයේ නූගත් නොපහත්කම් දඩමීමා කරගනිමින් සර්වජනේ ලංකාවට ප්‍රදානය කිරීම වදුරන්ට දැලිපිහි බෙදීමක් ලෙස හුවා දක්වමින් සිටියහ. ඉතිහාසයේ කරුනු කාරනා වල එන ලෙසට මෙයට පක්ශ වූ එකම එකසර ස්වදේශීය ව්‍යාපාරය වී ඇත්තේ ඒ.ඊ.ගුනසිංහ ප්‍රමුඛ ලංකා කම්කරු සංගමය පමනි. කෙසේවෙතත් මේ වර්න පාදක ක්‍රමය යටතේ චන්දය දීම ඉතා සරල පහසු ක්‍රමයක් නිසාත් ඊට සාක්ශරතාවයේ බලපෑමක් නොමැති නිසාත් ඒ තුල මේ සකලවිධ චෝදනා යම්තාක් දුරකට සාධාරනීකරනය කරන්නට බ්‍රිතාන්‍ය ආන්ඩුවට හැකියාව ලැබුනි. ඉදින් එදවස මැතිවරනය අතිශය සාර්ථක මට්ටමෙන් පවත්වා අවසන් කෙරුනි. කලින් කිව් ලෙසටම චන්දදායක සහභාගීත්වය මෙන්ම වලංගු චන්ද සංඛ්‍යාවද අපේක්ශිත මට්ටමට වඩා ඉහලින් පැවතීම කාගෙත් සතුටට හේතුවිය.
නමුත් සර්වජන බලලා මල්ලෙන් එලියට පැන්න දා සිට බොහෝ ජාතික නායකයෝ වාදනය කල නූගත් ප්‍රජාව පිලිබද තැටියේ ඇත්ත නැත්ත පහුවදා පාන්දර කොට්ටාශයෙන් කොට්ටාශයට ප්‍රතිපල නිකුත් වෙද්දී රටපුරා මොනවට ගම්‍යමාන වෙමින් තිබුනි. රටේ වැඩිම කොට්ටාශ ප්‍රමානයක් ජයගෙන තිබුනේ සුදු පාටින් තරග කල අපේක්ශකයින් ය. එය එසේ සිදුවූයේ සුදු පාට අපේක්ශකයින් අමුතු ජාතියේ අපේක්ශකයන් ටිකක් වූ නිසා නොව බොහෝ චන්දදායකයින් තමන්ට ලැබෙන චන්ද කූපනය සුදු පාට නිසා එය සුදු පාට පෙට්ටියට දැමිය යුතුය යන වැරදි අවබෝධයෙන් චන්දය භාවිත කල නිසා බව බොහෝ දෙනෙක් තේරුම් ගෙන තිබුනි. මීට අමතරව එදා මැතිවරනයේ සමහර චන්ද පොලවල් වල රාජකාරි කල නිලධාරීන් ඉහලට රපෝර්තු කර තිබුනේ සමහරක් දිලිදු ගැමියන් කැමති පාට පෙට්ටියට කූපනය දාන්නට කී විට අපේක්ශකයා කව්ද යන්නවත් නොසිතා බලා එතැන වූ ලස්සනම පාටක් ඇති පෙට්ටියට කූපනය දැමූ සිද්ධි වලටද තමන් අනවරතයෙන් මුහුනදුන් බවයි. මේ නිසාම මෙරට සර්වජන චන්ද බලය යටතේ පැවැත්වූ පලමු මැතිවරනයේදීම මෙරට ප්‍රජාව සිය දේශපාලන සවිග්නානිකත්වයේ අවම මට්ටමේ ලිං පතුලට වත් ලං නොවී සිටීම බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන්නක් විය.
ඉනික්බිති මෙසිරිලක හුදී ජනයාගෙන් ව්‍යුක්තව ගොස් ඇතැයි අධිරාජ්‍යවාදීන් නිරීක්ශනය කල මේ දේශපාලන අවබෝධය නොමැතිව මේ බිමේ ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් නැතැයි හැදිනගත් ඔවුහු අපට නැති ඒ අවබෝධය අප වෙත කෙසේ හෝ ලබාදෙන්නට බොහෝ වෙර වීරිය ගත් හ. ඔවුහු අපිට තරගකාරී පක්ශ ක්‍රමය හදුන්වාදුන්හ. ඔවුහු අපිට පාර්ලිමේන්තුවක් හදුන්වාදුන්හ. ඔවුහු අපිට අගමැතිවරයෙක් හදුන්වාදුන්හ. ඔවුහු අපිට කැබිනට් මන්ඩලයක් හදුන්වාදුන්හ. සුද්දා මේ හැම දාං ගැටයක්ම ගැහුවේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලනය ගැන කියාදෙන්නටය. පසුකාලීනව තත්වය යම් තාක් දුරකට සාධනීය තැනකට ආවේය.පලවෙනි මැතිවරනයේදී ලාංකිකයින්ගෙන් ප්‍රදර්ශනය වූ බොහෝ ගොන්කන් යටත් විජිත කාරකයින් මේ උපාය මාර්ග ඔස්සේ යටපත් කරදැමූහ.එහෙත් කුමක් හෝ කරුමයකට ඒ මෙහෙයුම ඉවර කරන්නට කලියෙන් සුද්දාට අපිව අතහැර යන්නට විය. ඒ නිසා සුද්දන්ට මකන්නට බැරි වූ ගොන්කන් ටිකක් අපේ චන්දදායකයා අතේ ඉතිරි විය. දැන් හැත්තෑ දෙවසරක් ගතවී ගොසිනි . එහෙත් ඒ ගොන්කන් නොඅඩුව ඒ ලෙසටම අපි ගාවය. දැන් අපි හරියට මනාපය පලකර චන්දය දමන්නට දනිමු. නමුත් තවමත් හරි මිනිහාට චන්දය දෙන්නට නොදනිමු. පලමු මැතිවරනයේදී ලස්සන පාට ඇති පෙට්ටියට කූපනය දැමීමේ ගොන්කමේ නූතන මොඩලය තවමත් අප අතරමය .
වැඩවසම් රදල ක්‍රමයක් සුන්නද්දූලි වී නව චින්තනයක් සහිත උගත් මධ්‍යම වෙලද පංතියක් එකදහස් නවසිය බර ගනන් වලදී නැගීසිටි බවත් ඔවුහු සාම්ප්‍රදායික වික්ටෝරියානු සදාචාරවාදයත් කැරිස්මාන්තික ධනවාදයත් සංයෝග කල නව සමාජයක් බිහිකල බවත් අපි දනිමු. නමුත් ඒ සමාජ රටාවේ පරම්පරා ගනනාවක දිගුවක් අවසානයේ ඉතිරිව සිටින පුරුක වන නූතනයේ අපි අදටත් වලව් වල අප්පොලාට කඩේ යමු. ඒ විලැම්බෑසිය සහසුද්දෙන්ම සිදුවීමෙන් පසුද ගතවූ වසර හැත්තෑ දෙකෙන් හැට හතක්ම රට පාලනය කර ඇත්තේ වලව්කාරයින් මය. ඉදින් නව ලිබරල් වාදය ඉදිරියේ වලව්ව වලගම් පිටි ගිය කතාවට මිත්‍යා ප්‍රබන්ධයකට වඩා එහා ගිය තැනක් අපිට දිය හැකිද ?
අප්පොලාගෙන් එහාට ඊලගට ලාංකේය දේශපාලනයේ තැන ඇත්තේ අප්පොලාව පාගා ගෙන උඩට ආවයි කියූ වෙලද පංතියේ තවත් එක ස්ථරයක සිටින ප්‍රකෝටිපති මුදලාලිලාය. අද සමාජය බල්ලෝ මරලා හරි සල්ලි හොයන එකක් නිසා මේ ධන කුවේරයන්ගෙන් සමහරක් උදවිය මත්කුඩු ජාවාරම වැනි සමාජ අපචාර හා හාදකම් පටන්ගත් විට ඔවුන් මුදලාලිලාට අමතරව අපරාධකාරයින් ද වේ. මේ අර්ථයෙන් ගත්කල ලාංකේය දේශපාලනයේ සක්‍රීය අවකාශයේ තිරනාත්මක තැනක් අචේතනිකවම සමාජ අපචාරකයින්ටද උරුම වේ.
ඒ ඒ මානයන්ට අනුව ගතහැකි මේ දෙගොල්ල හෝ තුන්ගොල්ල එකට ගුලි වී පිරුනු විට දේශපාලනයේ සැලකිය යුතු වටිනාම හරිය ෆුල් ලෝඩ් ය. ඉතිරි වෙන වාටි කෑලි ෆුල් ලෝඩ් ලොක්කන්ගේ සොක්කන්ටද සමසේ බෙදාහැරි විට උගතුන් බුද්ධිමතුන් එලියේය. ඉතින් රට දියුනු වෙන එක කෙසේ වෙතත් වල පල්ලට යන එක ටිකක් හෝ මන්දගාමී කල හැකිනම් එයද මහා ලොකු ජයග්‍රහනයකි.
කවුරු මොනවා කිව්වත් මෙසේ මේ සියවසකට ආසන්න කාලය පුරාවටම අප මහ පොලොවේ දූවිලි සුවද , දාදිය සුවද වටහාගත් නියෝජිතයින් අවම මට්ටමින් වත් පාර්ලිමේන්තු ගත නොකිරීමේ වරදට අපි තවමත් දඩුවම් විදින්නෙමු. ලංකාවේ මුල්ම වරට අධ්‍යාපන අමාත්‍යංශයක් ස්ථාපිත වූයේ 1931 දීය. එහි මුල්ම අමාත්‍යවරයා වූ කන්නංගර ශ්‍රීමතානන් එකල අප රටේ අධ්‍යාපනය තුල දැවෙන ප්‍රශ්නය ලෙස දකිනු ලැබූවේ පාසල් වල පැවති සම්පත් විශමතාවයයි. ඔහු මධ්‍ය විද්‍යාල සංකල්පය හදුන්වාදෙමින් ඒ දැවෙන ප්‍රශ්නයේ සැර බාල කරන්නට වටිනා පියවරක් ගනුලැබීය. නමුත් ඔබට විශ්වාස කල හැකිනම් අදටත් ඒ දැවෙන ප්‍රශ්නය එසේමය. 2010 - 2015 රජය මහින්දෝදය පාසල් වැඩසටහන තුලිනුත් 2015 - 2019 රජය ලගම පාසල හොදම පාසල වැඩසටහනිනුත් උත්තර හෙව්වේද කන්නංගරයන් එදා දුටු දැවෙන ප්‍රශ්නයටම නොවේද ? ලබන අවුරුද්දට අධ්‍යාපන අමාත්‍යංශයේ වයස අවුරුදු 90 කි. දශක 9 ක් පුරාවට මේ බිමේ බිහිවූ සෑම අධ්‍යාපන අමාත්‍යවරයෙක්ම යථෝක්ත සදාතනික කරුමයට තාවකාලික පැලැස්තර ගහන්නට මිස එය නිට්ටාවට සුව කරන්නට සමත්ව නැත. පසුගිය රජයේ පමනක් ප්‍රාදේශීය සංවර්ධන , ග්‍රාමීය සංවර්ධන , ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ආදී වූ සංවර්ධන ටැග් එක ගහගත් අමාත්‍යංශ හැට හුටහමාරක් තිබුනි. මේ හැම අමාත්‍යවරයෙක්ම රට සංවර්ධනය කරන්නට සැබෑ වෙහෙසක් ගත්‍තානම් මේ වෙද්දී අපේ රට මිහිපිට කේතුමතියක් වී තිබිය යුතුය. ඊට පෙර රජයේ ප්‍රවාහන අමාත්‍යංශයට අමතරව පෞද්ගලික බස් රථ අමාත්‍යංශය කියා වෙනම අමාත්‍යංශයක්ම තිබුනි. ඒ අමාත්‍යංශය වසර 5 ක් සක්‍රීයව පැවතුනි. නමුත් අදටත් අවුරුද්දකට අපේ රටේ හත් අට වතාවක් බස් ස්ට්‍රයික් ය .
මේ සෑම මල කරුමයකටම වැරදිකරුවෝ අපිමය. අපි හරිහමන් මිනිස්සු පාර්ලිමේන්තුවට යැව්වනම් මේ විනාශය අපේ රටට සිදුවන්නේ නැත. මා මෙහිදී කියන්නේ දේශපාලන නායකයින් මෙරටට කල යහපත් කියා කිවහැකි ඉදිකටු තුඩක තරම්වත් දෙයක් නැති බව නොවේ. යහපත් නායකයින් ඉදහිට හෝ අපි දියවන්නාවෙන් එතෙරට යැවූ බවත් ඔවුන් යම් යම් ජාතික මට්ටමින් පලදායී න්‍යාය පත්‍ර වලට සවිය දුන් බවත් ඇත්තකි. නමුත් කිරි කලයකට ගොම බිදුවක් වැටීමත් අවාසනාවක් වූ කල ගොම ගොඩකට කිරි දෙවීමෙන් ඇති පලයක් ඇත්තේම නැත. මොන කරාමය ඇරියත් එන්නේ කුනු නම් කලයුත්තේ කරාම වසාතැබීම නොව ටැංකිය සුද්ද කිරීමයි. ටැංකිය සුද්ද කිරීම අපිට කරන්නට ඕනෑ වූ පමනින් කල හැක්කක් නොවේ. ඒ සදහා සුද්ද කරන්නට අවශ්‍ය කොසු බුරුසුත් ටැංකිය පිරවීමට බාල්දියත් අපේ අතට එනතෙක් අප ඉවසිය යුතුය.අවුරුදු 5 කට වතාවක් අපේ අතට එන ඒ ප්‍රත්‍ය පහසුකම් ටික දැන් අපේ අතේය. ශ්‍රමදානය අගෝස්තු පස් වෙනිදාටය. ඕනි නම් ටැංකිය සුද්ද කර වතුර පුරවන්නටත් නැත්නම් වෙනදා කලා සේම කොසු බුරුසු වීසිකර කෙලින්ම අසූචි පිරුනු ටැංකියම වතුර වලින් පුරවන්නටත් අපිට පුලුවන. තීරනය ඔබ අතේය. අනික් අතට කොරෝනා හුටපට අස්සේ සියලු අවදානම් අපව වෙලන්නට කුරුමානම් අල්ලද්දිත් දැලි පිහියෙන් කිරි කන්නා සේ මේ මැතිවරනය ඔබ අප වෙනුවෙන් සංවිධානය වන්නේද කැහිල්ලකට නොව කලින් කිව්වා සේම රටේ ඉදිරි අනාගත අභිවෘද්ධිය පිනිස ඔබේ මගේ මනාපය ඉතා තීරනාත්මක සාධකයක් නිසාය. අවදානම් වැඩකට අතගසා ඇති නිසා මෙවර චන්දයේ වියදමද කෝටි දහසකි.එනිසා ඒ ඉහල පිරිවැයේ තරමට වටින මිනිසුන් පාර්ලිමේන්තුවට එවීම ඉතාම වැදගත් ය. අටුවා ටීකා එක්ක දිග ඇරලා කිව් කතාව සරලවම කිව්වොත් කතාව මෙච්චරය. මේ පාර ඔබ චන්දය දැමිය යුත්තේ මීටරෙනි. භෞතිකව පමනක් නොවේ ඔලු අස්සේ නලියන චින්තනය තුල පවා ඔබ මීටරෙන් සිටිය යුතුය. ඉතින් අවසාන ඇරයුමනම් මෙයයි . පස්වෙනිදා උදේම හොද පෑනකුත් හොද මොලයකුත් රැගෙන ඔබට හිමි චන්ද මධ්‍යස්ථානයට යන්න. හිතාදර මැකෝගේ බසින් නිමා කරනවග නම් කොරෝනාවට පරාජය - ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය !!!
Comments
Post a Comment