ඔබත් පිළිකාව සමඟ ජීවත් වන්නෙක්ද?
J.K ඉසුරු
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පිළිකාව යනු ශරීරය තුළ පාලනයකින් තොරව සිදුවන අසාමාන්‍ය සෛල විභාජනයක් ලෙස හැදින්විය හැක.පිලිකා රෝගී තත්ත්වය ගෝලීය වශයෙන් කෙතරම් සුලබද යත් 2030 පමණ වන විට ලෝක ජනගහනයෙන් 1/3 ක් කිනම් හෝ වර්ගයේ පිළිකාවකින් පෙළෙන බවට ගණන් බලා ඇත.අති නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවලින් පවා තවමත් සියලුම පිලිකා නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකර්ම සොයාගෙන නොමැත.බොහෝවිට සිදු කරනුයේ පිලිකා රෝගී තත්ත්වයක් පාලනය කර රෝගියාගේ ජීවිත කාලය වර්ධනය කිරීමයි.එසේනම් පිළිකාව යනු පැහැදිලිවම මාරාන්තික රෝගී තත්ත්වයකි.මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ එම මාරාන්තික පිලිකා පිළිබඳ මූලික දැනුමක් ඔබට ලබා දීමටයි.සෛල විභාජනය යනු ජීවයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දේහය තුළ සිදුවන ස්වභාවික ක්‍රියාවලියකි.ශරීරයේ වර්ධනයට පටක අලුත්වැඩියාවට මෙන්ම ජන්මානු නිෂ්පාදන ක්‍රියාවලිය සදහාද සෛල විභාජනය වැදගත් වේ.මෙය සෛලීය මට්ටමින් ඉතාමත්ම පාලනයකින් යුතුව සිදුවන ක්‍රියාවලියක් ලෙස හැදින්විය හැක.සෛල විභාජනය පාලනය කරනුයේ අදාල සෛල වලම පවතින ජාන වලිනි.මේ ජාන මගින් සෛල විභාජනයේදී සිදුවන සෑම සිදුවීමක්ම නිරතුරුවම පරීක්ෂා කරන අතර කිසියම් දෝශයක් පවතී නම් විභාජන ක්‍රියාවලිය තාවකාලිකව නවත්වා එය පිළිසකර කිරීමටත් පිළිසකර කිරීමට නොහැකි නම් අදාළ සෛල ස්වයං විවිනාශ කිරීමකට ලක්කිරීමත් මෙම ජාන මගින් සිදු වේ.බොහොමයක් පිළිකාවලට හේතු වන්නේ සෛල විභාජනය පාලනය කරන මෙම ජානවල සිදුවන විකෘතියකි.සෛල තුළ එක් එක් ජීවී විශේෂයන්ට අත්‍යවශ්‍ය තොරතුරු ගබඩා කර තබන්නේ DNA නම් වූ මහා අනු මගිනි.ජාන පිහිටා ඇත්තේ ද මෙම DNA අනු තුලයි.එබැවින් DNA අනුවල සිදුවන විකෘතීන් ජාන විකෘතිවීම්වලට බලපාන අතර ඒවා පිලිකා වලටද හේතු කාරක වේ.X කිරණ,පාරජම්බුල කිරණ වැනි විකිරණ,මුක්ත ඛණ්ඩක,බැර ලෝහ අයන හෝ ඉහළ ක්රියාකාරිත්වකින් යුත් කාබනික සංයෝග DNA අනුවලට විශාල හානියක් ඇති කරයි.මෙලෙස සිදුවන හානිය පෙර සදහන් කළ පරිදි නැවත පිළිසකර කරගැනීමට හෝ හානිකර සෛල විනාශ කර දැමීමට අපොහොසත් වීම නිසා ශරීරය තුළ පිලිකා තත්ත්වයන් වර්ධනය විය හැකිය.DNA අනුවල ව්‍යුහමය වෙනස්කම් නැතිකිරීමට බලපාන පෙර සදහන් කළ සාධක පිලිකා කාරක ලෙස හැදින්වේ. පිලිකා වළක්වා ගැනීමට අනුගමනය කළ හැකි සාර්ථක ක්‍රමයක් වන්නේ මෙම පිළිකාකාරක වලට ශරීරය නිරාවරණය වීම හෝ පිළිකාකාරක ශරීරයට ඇතුල්වීම මගහරවා ගැනීමයි.ඒ අනුව දැඩි හිරු රශ්මියට දීර්ඝකාලීනව සෘජුව නිරාවරණය වීමෙන් වැළකීම,විකිරණශීලි ද්‍රව්‍ය භාවිතයේදී ආරක්ෂක ක්රමෝපායන් අනුගමනය කිරීම,කෘතීම වර්ණක,රසකාරක,පරිරක්ෂක ආදිය යෙදූ ආහාරපාන භාවිතය අවම කිරීම මගින් පිළිකාකාරක ශරීරගත වීම වැළැක්විය හැකිය.කෙසේ නමුත් පිලිකා වලට හේතුවන ජාන විකෘති ප්රවේණිගතව සම්ප්‍රේෂණය විය හැකි බැවින් පිලිකා පිළිබඳ පවුල් පසුබිම සොයා බැලීමද වැදගත් වේ.ශරීරය තුළ පිලිකාවක් වර්ධනය වන බවට සැක කළ හැකි අවස්ථා කිහිපයක් ඇත.පිළිකා සෛල පාලනයකින් තොරව වර්ධනය හා විභාජනය වන නිසා ඒවාගේ ශක්ති අවශ්‍යතාව සාමාන්‍ය සෛලවලට වඩා ඉහළ වේ.එබැවින් පිලිකා සෛල තම ශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට ශරීරයේ ඇති මේද තැන්පතු හා ප්‍රෝටීන් බිද හෙලයි.එබැවින් හේතුවක් රහිතව අසාමාන්‍ය ලෙස සිරුරේ බර අඩු වීමේදී පිලිකා රෝගී තත්ත්වයක් පිළිබඳව සැක කළ හැකිය.එසේම හේතුවක් නොමැතිව ඇතිවන අධික වෙහෙස හා නිදිමත,කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට අමතරව සිදුවන අක්‍රමවත් රුධිර වහනය වීම්,දීර්ඝකාලීනව පවතින සුව නොවන තුවාල සහ වසා ගැටිති ඉදිමීම ආදිය පිලිකාවල මූලික ලක්ෂණ විය හැකිය.මෙම ලක්ෂණ සියල්ල පිළිකාවලට අනන්‍ය ලක්ෂණ නොවුනද මේවා පවතී නම් වෛද්‍යවරයෙක් හමු වී සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීම මගින් පිලිකා කල්තබා හදුනා ගැනීමටත්,එමගින් ඇතිවන ජීවිත අවධානම අඩු කර ගැනීමටත් හැකි වේ.
Comments
Post a Comment