තමන්ගේ හීනෙට පන වගේ ආදරය කරන්න - ඔයා හීනෙ ලගට යන්නත් කලින්ම හීනෙ ඔයා ලගට එනවා සත්තයි



සම්පත් බණ්ඩාර 
සීවලි මධ්‍ය විද්‍යාලය 
රත්නපුර 



ජීව විද්‍යාත්මකව ගත්තම මිනිස්සුට ජීවත් වෙන්න ඕනි කරන්නේ මොනවාද කියලා ඇහුවොත් ඔබට ලේසියෙන්ම ඔක්සිජන් , ආහාරපාන : එහෙමත් නැත්නන් කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන් , විටමින් , කැල්සියම් ආදී වූ පෝශ්‍ය පදාර්ථ , ජලය වගේ අපූරු උත්තර පෝලිමක්ම දෙන්න පුලුවන්. සැකයක් නෑ දුර ගමන් සේවා බස් රථයක කොන්දොස්තර කෙනෙක් රූට් එක කියාගෙන කියාගෙන යනවා වගේ වේගෙන් ඔයත් මේ ලිස්ට් එක ලෑල්ලට පාගලා කියාගෙන කියාගෙන යයි. ඔව් ඔය දේවල් ටික තමයි අපිට මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය අවම අවශ්‍යතාවන් ටික. හැබැයි පොඩ්ඩක් මේ ගැන හිතන්න.

 ඔක්සිජන් ටිකක් ආශ්වාස කරලා කාබන්ඩයොක්සයිඩ් ටිකක් ප්‍රාශ්වාස කරලා කෑම බීම ටිකක් අරන් ශරීරයේ ජීව ක්‍රියාකාරීත්වය පවත්වාගෙන ගිය පලියට අපිට කියන්න පුලුවන්ද අපි ජීවත් වෙනවා කියලා. ජීවිතය කියන්නේ නිකන්ම නිකන් අකුරු හතරක් නෙවෙයි. මේක මහ බරසාර වචනයක්. මේකෙ තේරුම අහසේ තරුකැට ගානටත් වඩා පොලොවේ වැලිකැට ගානටත් වඩා ලොකුයි.

අපි සැබැවින්ම ජීවත් වෙනවනම් අනිවාර්‍යෙන්ම මිනිස්සු විදියට අන්න ඒ සද්දන්ත තේරුමට සාධාරනයක් වෙන විදියට ජීවත් වෙන්න ඕනි. ජීවිතේ මෙහෙමයි කියලා වෙන වෙන අය පෙන්වන පෙන්වන නිර්වචන වලට විචාර ලියන්නේ නැතුව අපේම සූත්‍රයකින් අපේ ජීවිතය කියවන්න පුලුවන් වෙන තරම් අපි ජීවත් වෙන්න ඕනි. අපිට වගේම පිට අයටත් අපිව සැරටම දැනෙන තරම් මොරාල් එකකින්  අපි ජීවත්වෙන්න ඕනි. ඒක එහෙමනම් ඔය කෑමබීම , ඔක්සිජන් වලින් එහාට ගිය ඕනෑ එපාකම් ජීවිතේට තියෙනවා කියලා ඔබට දැන් තේරෙන්න ඕනි. ඒ දේවල් විවිධාකාරයි. පුදුමාකාරයි . අනන්තයි.අපිරිමිතයි. හැබැයි ඒ සියල්ල එකට කැටි කලහම අපිට ඒ මග ගොඩක් ඕනෑ එපාකම් වලට ලස්සන තනි නමක් දෙන්න පුලුවන් වෙනවා. ඒ තමයි හීන.

කතාවක් තියෙයි මනුස්සයෙක් ජීවිතේ වැදගත්ම දවස් දෙක වෙන්නේ ඔහු උපන් දවස හා ඔහු ඉපදුනේ කුමකටදැයි ඔහු තේරුම් ගත්ත දවස කියලා. ඉතින් අපි ඉපදුනේ මොකටද කියලා තේරුම් ගන්න වගේම ඒ තේරුම මත පිහිටලා ජීවත් වෙන්නත් අපිට හීන අවශ්‍යයි. තත්පරයක් තත්පරයක් පාසා ජීවත් වෙන්න ඔක්සිජන් කොච්චර වැදගත් ද ජීවිතයේ නිමේශයක් නිමේශයක් පාසා හීන ඒ තරම්ම තීරනාත්මකයි. හීන නැති මනුස්සයා අයාලේ යන හරකෙක් වගේ. තමන්ටවත් ලෝකෙටවත් තමන්ගෙන් ඇති වැඩක් නෑ. හැබැයි හීනත් එක්ක දුවන මනුස්ස‍යෙක් කියන්නේ ලෝකෙ වෙනස් කරන්න පුලුවන් ලොකු බලයක් තමන් තුල හංගගෙන ඉන්න මහා බලවතෙක්.ඒ හීනේ  සාම්ප්‍රදායික ද මොඩර්න් ද සදාචාරසම්පන්නද සදාචාර විරෝධීද කියන එක වෙනම සංවාදයට බදුන් කරන්න ඕනි කාරනාවක්. ඒ කොහොම උනත් ඒ ඕනිම හීනෙකට එකතැන පල්වන සමාජය පවතිනා තැනින් ඉදිරියට අරගෙන යන්න ලොකු සානුබලයක් දෙන්න පුලුවන්.

අනික් වැදගත්ම කාරනාව තමයි හීන දකින්නවත් දකින හීන වලටවත් කවමදාකවත්  සීමා මායිම් කොන්දේසි දාන්න මේ ලෝකෙ කිසිම ජගතෙක්ට හැකියාවක් නෑ. ජීවිතේ අස්සේ අන්ලිමිටඩ් හීන දකින්න අපිට මිනිස්සු විදියට පූර්න අයිතිය තියෙනවා. ඒ නිසා හෙට ගැන , ලබන සතිය ගැන , ලබන මාසෙ ගැන , ලබන අවුරුද්ද ගැන , තව අවුරුදු පනහකින් අපි ඉන්න තැන ගැන මේ ඕනිම දෙයක් ගැන අපිට හීන දකින්න පුලුවන්.ඒ නිසා මුඩුක්කුවක ඉන්න පොඩි දුප්පත් කොල්ලෙක් ගේ හීනෙ මේ ලොකේ ධනවත්ම ව්‍යාපාරිකයා වෙන්න නම් ඒ හීනෙට හිනා වෙන්න අපිට කිසිම අයිතියක් නෑ. අවජාතක ලමාවියක් ගතකරපු  ජෙෆ් බේසස් එදා තමන්ගේ අනාගතය ගැන ලොකු ලොකු හීන නොදැක්කනම් අද මේ ලොකෙට ඇමේසන් කියලා වෙබ් සයිට් එකකුත් නෑ. සමහර විට ඔන්ලයින් ශොපින් කියලා මේ තරම් දියුනු සංකල්පයකුත් නෑ. කොටින්ම කිව්වොත් බේසස් ලෝකෙ ධනවත්ම ව්‍යාපාරිකයා වෙන්නෙත් නෑ. කෝටි සිය ගානක් ජීවත් වෙන රටක කෝච්චියේ වඩේ විකුනපු නරේන්ද්‍ර මෝදිට ලොකු ලොකු හීන නොතිබ්බනම් ලෝකෙ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රටේ අගමැතිවරයා වෙන්න ඔහුට හැකියාවක් ලැබෙන්නෙත් නෑ. මාලිගාවත්තේ  මුඩුක්කුවක ජීවත් උනු පොඩි පොඩිම වයසෙදිත් තමන්ගේ ටේලර් තාත්තා මහල දීපු ඇදුම් කෑලි විකුන විකුන ගෙයින් ගෙට ගිය පුංචි කෙල්ලට ලොකු ලොකු හීන නොතිබ්බනම් අද අපේ හෙල ගී කෙතට නන්දා මාලිනියකුත් නෑ.

ලෝකෙ හැමදාම වෙනස් උනේ මිනිස්සුන්ගේ අතින් නෙවෙයි. ඒ මිනිස්සුන්ගේ හිත් අස්සේ අරගල කරපු ඒ මිනිස්සුන්ව රාත්‍රී ගනනාවක් නිදිවර්ජිතව තියපු ඒ මිනිස්සු හදවතින්ම ආදරය කරපු හීන විසින්. ඉතින් පොලොවේ පය ගහලා තේරුමක් ඇතිව ජීවත් වෙන්න ඕනි නම් අනිවාර්යෙන්ම හීන දකින්න. ඒ හීනත් එක්ක ජීවත් වෙන්න. හීන හැබෑ කරගන්න අමාරුයි. හැබැයි හීන හැබෑ කරගන්න තියරිය හරිම සරලයි . එකම දේ ඒ හීන වලට පන වගේ ආදරය කරන්න. හීන වලට නොනවත්වාම ආදරය කරද්දි ඒ හීන ජයගන්න අවශ්‍ය ශක්තිය ධර්‍යය වාසනාව ඔයාටත් නොදැනීම නිතැතින්ම ඔයා ලග රැදෙයි . ඉතින් යාලුවනේ ආරාධනාව සරලයි. හීන දකින්න. දකින හීන වලට ආදරය කරන්න. ඔයා හීන හොයාගෙන යන්නත් කලින් හීන ඔයාව හොයාගෙන එනවා සත්තයි .


Comments

Post a Comment

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)