නව ඇමරිකානු ජනාධිපති පත්වීම හා එය ලංකාවේ දේශපාලන ආර්ථික තත්වයට ඇතිකරන බලපෑම





සම්පත් බණ්ඩාර 
සීවලි මධ්‍ය විද්‍යාලය 
රත්නපුර



ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයන් පිලිබද විමර්ශනය කෙරෙන සුලබ න්‍යායාත්මක දේශපාලන විද්‍යා අධ්‍යයනයන්හීදී බොහෝවිට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ තිබිරිගෙය ලෙස දැක්වෙන මහා බ්‍රිතාන්‍යය ටත් වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ ඇමෙරිකා එක්සත් ජන පදයට බව ඔබටත් මටත් රහසක් නොවේ. විශේශයෙන්ම එක්සත් ස්වාධීන ජාතික රාජ්‍යයක් ලෙස නැගීසිටී මුල් අවදියේම ඇමෙරිකාව නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට හැඩ ගැස්වීම ,  ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ලබාදෙන අසීමිත ගරුත්වය ,  සාර්ථක ෆෙඩරල් භාවිතාවක් යටතේ මධ්‍යම ආන්ඩුව හා  ප්‍රාන්ත අතර මනා සුසංගත බල විමධ්‍යගත කිරීමක් සිදුකර තිබීම , පුද්ගල නිදහස හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන , මහජන පරමාධිපත්‍යයේ උපරිම භාවිතාව , බලය සම්බන්ධයෙන් විධායකය / ව්‍යවස්ථාදායකය / අධිකරනය අතර ගොඩනගා ඇති අන්තර් ආයතන සංවරන තුලන ක්‍රම ආදිය  ශාස්ත්‍රීය ගනයෙහිලා තේමාවක් ලෙස මෙවැනි  ප්‍රමුඛත්වයක් ඇමරිකා එක්සත් ජනපදය දෙසට යොමුවීමට බලපා ඇති බව පෙනේ.


නමුත් අපට නිතර ඇසෙන මේ සුලබ නිර්වචනය කෙසේවෙතත් න්‍යායාත්මක සිද්ධාන්ත තුල පැන නැගුනු මේ අයිතිහාසික කතන්දර සියල්ල අවලංගු කාසියක් බවට පත්කල , ඇමෙරිකානු ඉතිහාසයට නොමැකෙන කලු පැල්ලම් එක්කල ඉතා තීරනාත්මක දින කිහිපයක් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය පසුකරමින් සිටින බව  මට දැනේ .මේ ගතවෙනා මොහොත වන විට සැබැවින්ම තවදුරටත් ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල ලෙස හදුන්වාදීමට වඩා එය බංකොලොත් ප්‍රජාතන්ත්‍රවාදයක මර ලතෝනිය ලෙස හදුන්වාදිය යුතු බව ලෝකයේ බොහෝ දෙනා තරයේ පලකරන අදහසයි.


මෙවර ඇමෙරිකා ජනාධිපතිවරනය ඒ තරම්ම සුපිරි ගනයේ  කැම්බැල්ලයකි. සියලු රස වලින් පිරුනු අපූරු කෝලම් නාටකයකි.


සියල්ල අවසානයේදී ඩිමොක්‍රටික් අපේක්ශක ජෝ බයිඩ්න් ජයගත් බව හෙලිදරව් විය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විජයග්‍රහනයකි. එක් අතකට බයිඩ්න් ගේ චරිත කතාව අප සියලු දෙනා කියවිය යුතුයැයි මට සිතේ. ඇස් පනාපිට මිහිපිට අනාථයෙකු වූ ඔහු කදුලු මතින් නැගිටුනු නායකයෙකි. ඔහුගේ නාමය මතු දවසක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සාහිත්‍යයේ රන් අකුරෙන් ලියැවෙනු ඇත. නමුත් ගැටලුවකි. බයිඩ්න් ඇමෙරිකාවට හොද නායකයෙක් වුවත් ලෝකයට හොද නායකයෙක් වේවිද යන්න අදටත් පැහැදිලි ප්‍රශ්නයකි.


එය මෙසේ පහදමි. එදා මෙදා තුර බලයට පත්වෙන ඕනෑම ඇමෙරිකන් ජනාධිපතිවරයෙකුට ලෝකයා නිරායාසයෙන්ම ලෝක බලවතා යන අන්වර්ථ නාමය පටබදියි. ඇත්ත වශයෙන්ම ඔහු හෝ ඇය සතුව ලෝකය හොල්ලන්නට තරම් ප්‍රබල තීරක බලයක් ද වේ. කවුරුමොනවා කිව්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ධවල මන්දිරයට යටය. මේ නිසා බලයට පත්වන ඕනෑම ඇමෙරිකන් ජනපතිවරයෙක් තමාට රිසිලෙස ලෝක බලවතාගේ භූමිකාව නඩත්තු කරයි. නමුත් බොහෝවිට රිපබ්ලිකන් ජනාධිපති වරුන් වැඩිය තම මායිමෙන් පිට ලෝකයට අත නොදාන බව නොරහසකි. හොදම නිදසුන ට්‍රම්ප් ය. ඔහු චීන විරෝධියෙකි. බ්‍රිතාන්‍ය වික්ටෝරියානුවාදය සම්බන්ධයෙන්ද විරෝධියෙකි. ඔහු ඇමෙකානු ස්වදේශිකත්වය හා ජාතිකත්වය පිලිබද පරමෝත්තරවාදියෙකි .ඔහු ඒ මත තම දේශ සීමාව තුල මනා සේ ස්ථාපිත කලේය. එසේ වුවත් තමා සතු අසීමිත බලය දඩමීමා කොටගෙන ඒ ප්‍රතිපත්තිය ලෝකය දෙසට යොමුකරන්නට තරම් ඒකාධිපතියෙකු නොවූයේය .   දේශසීමාවෙන් පිටත රටවල් වලට ඔහු අත දැම්මේම නැති තරම්‍ ය.


ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ සාම්ප්‍රදායික රිපබ්ලිකන් ජනපතිදාගේ ස්වරූපයයි ස්වභාවයයි රිපබ්ලිකන් ජනාධිපතිවරුන්ගේ කැරැට්ටුව එසේ වුවත් ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන්ගේ පෙරෙට්ටුව පාරට්ටුව නම් මීට වඩා බොහෝ වෙනස් ස්වරූපයකි. ඔවුන් ලෝකය තුල ගෝලීය වශයෙන් ඇමෙරිකානු සමාජ ආර්ථික දේශපාලන ආධිපත්‍යයක් ගොඩනගන්නට බොහෝ වෙහෙසෙති. ඒ සදහා ඉතා පිලිකුල් සහගත ලෙස බාහිර රාජ්‍යයන්ගේ අභ්‍යන්තරයේ හටගන්නා ජනවාර්ගික ගැටුම් , ත්‍රස්තවාදී ගැටුම්  , ආර්ථික අස්ථාවරතා ආදියට පොහොර වතුර දමති. අවසාන ඩිමොක්‍රටික් ජනාධිපතිවරයා වූ ඔබාමා ඇමෙරිකානු යටත් විජිතවාදයට එරෙහිව නැගී ආ ලිබියාවත් , සිරියාවත් සුන්නද්දූලි කර දැමුවේය.  ග්‍රීසිය නය උගුලක සිරකර නන්නත්තාර කලේය. සාම්ප්‍රදායික ප්‍රහාර හමුවේ නොසැලෙන ඉරාකය බිදවැට්ටවීමට ISIS ත්‍රස්ත සංවිධානය පවා රහසිගතව නිර්මානය කලේය. ඔබේ මතකය පැහැදිලි නම් ඒ කාලයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වූ බෑන් කී මූන් සමග එක්ව ලංකාවට විරුද්ධව මානව හිමිකම් චෝදනා ගෙනාවේද ඔබාමාය. 2017 එක්සත් ජාතීන්ගේ ආසියානු නිත්‍ය නියෝජිත සෙයිද් රාද් අල් හුසේන් පැමින ලංකාවට ජාත්‍යන්තර යුද්ධාධිකරනයක් හදුන්වාදීමට පවා උත්සහ කලේ ඔබාමාගේ අනුදැනුම යටතේය. කෙසේ වෙතත් ඒ වසරේ නොවැම්බර් ජනාධිපතිවරනයේදි හිලරි ක්ලින්ටන් පරාජයට පත්ව ට්‍රම්ප් ජයගැනීමත් සමග ඒ සියල්ල හමස් පෙට්ටියට ගියේය.


එහෙත් බයිඩ්න් ගේ ජයග්‍රහනයත් සමග දැන් යලිත් මේ සියල්ල කරලියට පැමිනෙන අවදානමක් තිබේ. ඔබාමා ලංකාවට මේ සියලුම උගුල් අටවද්දී එකල ඔහුගේ සහයක ඩැනී වූයේ එකල උප ජනාධිපතිවරයා වූ වත්මන් ජනපති ජෝ බයිඩ්න් ය. හමස් පෙට්ටියට ගිය ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ඔහු යලිත් අවදි නොකරාවියැයි සිතීම උගහටය.අනික් අතට බයිඩ්න් ගේ උප ජනාධිපතිවරිය වන දකුනු ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් දමිල ඩයොස්පාරව සමග සමීපව කටයුතු කරන්නියක් වීම මේ රස්නය තවත් වැඩිවීමට හේතු වේ. පසුගිය කාලයේ ට්‍රම්ප් එක්සත් ජාතීන් සමග බර පන්තියෙන්ම හැප්පුනු නිසා ඔහුව බලයෙන් පහකර සිහසුන දිනාගත් බයිඩ්න් ට එක්සත් ජාතීන්ගේ පවා නොමද සහයෝගය හිමිවනු ඇත. එහෙයින් ලංකාවේ ජාතික ස්වාධිපත්‍යයට හා සමාජ දේශපාලන පැවැත්මට මේවා කරන කොටගෙන අනාගතයේදි බොහෝ බලපෑම් එල්ලවනු නොඅනුමානය. එය සක්සුදක් සේ පැහැදිලි කාරනාවකි. අපට ඇති එකම සැනසිල්ල නම් මේ වන විට ඇමෙරිකාව මුහුන දී ඇති කොරෝනා තර්ජනය හා ආර්ථික අවපාතනය ප්‍රකෘති තත්වයට එන තෙක් මේ සෙල්ලම් ප්‍රමාද වීම පමනක්මය. එලිවෙන ජාමයේදි හොද හොද සෙල්ලම් බලාගන්නට අපට හැකිවෙනු ඇත.


ගමේ ඇහැට කනට පේන ගැහැනියක් අන්ත අසරන වූ පසු ඇයට යහතින් කාබී රැකෙන්නට නම් ඇය කැමති වුවත් අකමැති වුවත් පැලට එන එන මිනිහා සමග බුදියාගන්නටම සිදුවේ.බලවතුන් අතර බවලතෙකු වූ අපේ රටේ ඉරනම ද එසේමැයි . මෑත කාලීනව චීනය සමග යහන්ගත වූ අපට ඉදිරියේදී අකමැත්තෙන් වුවත් ඇමෙරිකාව හා යහන්ගත වීමට සිදුවනු ඇත. එකම වෙනස නම් වෙනදාට රමනීය වූ රමනය මෙවර මරනීය වූ රමනයක් බවට පත්වනු ඇත.

Comments

Popular posts from this blog

හරි අපූරු මිනිහෙක්! (කෙටිකතාව)